2017 මාර්තු 18 වන සෙනසුරාදා

රොබර්ට් කෙලීගේ පිස්සු (කෙලී)

 2017 මාර්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 109

රොබර්ට් කෙලී මහ කෙලිකාරයෙකි. ජාත්‍යන්තර සබඳතා සහ දේශපාලන විද්‍යාව පිළිබඳවය. කොරියානු පූසාන් ජාතික සරසවියේ මහාචාර්යවරයා වන ඔහු දකුණු කොරියාවේ ජනාධිපතිවරිය ගෙදර යැවූ ආන්දෝලාන්තමක දෝෂාභියෝගය ගැන බීබීසී සේවයට ස්කයිප් මගින් බරසාර අදහස් දැක්වීමක යෙදී සිටියේය. ජාත්‍යන්තර අලකලංචි ගැන අදහස් දක්වමින් සිටි ඔහුගේ කාමරයට කඩාපැන්නේ ඔහුගේ හතර හැවිරිදි දඟකාර කෙලීය. ඈ මේරියන්ය. තවත් මොහොතකදී කාමරයට ඇතුළු වූයේ තාමත් මාස 09ක් වූ අතදරුවා ජේම්ස් රැගත් රෝද පුටුවයි. තාත්තාගේ බරසාර කතාව ගැන වගේ වගක් නැතිව පැන පැන එන මේරියන් සහ පුතා ජේම්ස්, ලෝකය පුරා සජීවීව විකාශය වූ සම්මුඛ සාකච්ඡාවට පැන සිදුකළ අලකලංචිය නතර වුණේ මහාචාර්යවරයාගේ බිරියද හදිසියේ කඩාපැන මේ දරැ දෙදෙනා කාර්යාල කාමරයෙන් පිටතට ඇදගෙන යන ජවනිකාවත් සමඟිනි. ඒත් ඒ වනවිට ලෝකයම මේ සිද්ධිය දැක හමාරය.

මේ ගැන පසුව මහාචාර්ය බිරිය කියා තිබුණේ අමුතු කතාවකි. එයා ඔෆිස් කාමරේ දොර ලොක් කරලා තිබ්බේ නෑ. මම සාලයේ ඉඳගෙන රූපවාහිනියෙන් එයාගේ කතාව වීඩියෝ කරමින් උන්නේ. මේරියන් එතැනින් පැන ගන්නවා මම දැක්කේ නෑ. දොර ඇරලා එයා තාත්තාගේ කාමරේට රිංගනවා මාත් දැක්කේ රූපවාහිනියෙන්.

මේරියන්ගේ මේ කඩාවැදීමට හොඳ හේතුවක් තිබේ. එදා ඈ හිටියේ හොඳහැටි උද්දාමයට පත්වෙලාය. ඒ ඇගේ හතරවැනි උපන්දිනය සමරා තිබූ දිනයයි. ඉතින් තාත්තා හදිසියේ රූපවාහිනියෙන් ප්‍රාදූර්භූත වෙනවා දුටු ඇය තමන්ට හුරුපුරුදු ඔෆිස් කාමරය හැඳිනගෙන ඒ කරා දිව්වාය. දොර බෝලය කරකවා බැලුවාය. වෙනදාට නම් ඒක ලොක්. ඒත් අද නම් Unlock ඉතින් තවත් වෙන මොනවාද? මේ පිස්සු කෙලී දඟ නැටුමකුත් නටාන කාමරයට කඩා පැන්නාය. ලෝකෙම බලාහිටියාට අපිට මොකෝ! ඈ හිතන්නට ඇත්තේ එහෙමය.