2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා

ඉන්දීය වෛද්‍යවරියගේ දූෂකයන්ට වෙඩිපහර!

 2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 304

ඉකුත් සති කිහිපය තුළ ඉන්දීය මාධ්‍ය මතු නොව අන්තර්ජාතික මාධ්‍යයන්ද කැළඹීමට  ලක්කළ හද කම්පා කළ පුවතක් වූයේ, වෛද්‍ය ප්‍රියංකා රෙඩ්ඩිගේ ම්ලේච්ඡ ඝාතනයයි. සමූහ දූෂණයකට ලක්කර ඝාතනයට ලක්කර තිබූ 26 හැවිරිදි මෙම පශු වෛද්‍යවරිය පිළිබඳ පුවත ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරයෙන් වාර්තා වූවකි. සිය සේවය අවසන්ව නිවෙස බලා පැමිණෙමින් සිටියදී ඇගේ යතුරුපැදියේ ආබාධිත ටයරයක් පිළිසකර කර ගැනීමට සහාය දක්වන මුවාවෙන් පැමිණි පිරිසක් මෙම ඝාතනය සිදුකර තිබුණි. ඝාතනය කර පුළුස්සා දැමූ ප්‍රියංකාගේ මෘතදේහය ඇගේ නිවසේ සිට කිලෝමීටර් 30ක පමණ දුරක දැවෙමින් තිබියදී හමුවුණේ සමස්ත ඉන්දියාවත් ලෝකයත් කම්පාවට පත් කරමිනි. දැන් මේ වරදකරුවන්ට දිට්ඨධම්ම වේදනීය කර්මය පලදී හමාරය.

වෛද්‍යවරියගේ ඝාතනය සම්බන්ධයෙන් වෘත්තියෙන් ට්‍රක් රියදුරන්  වූ වයස අවුරුදු 20-26ත් අතර වයස්වල පසුවන්නන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබුණි. මෙම සැකකරුවන් සිව්දෙනා ඉන්දීය පොලීසිය විසින් වෙඩිතබා ඝාතනය කර ඇති බව දැන් වාර්තා වී තිබේ. අපරාධය සිදු වූ ස්ථානයට සැකකරුවන් රැගෙන ගිය අවස්ථාවේ ඔවුන් නිලධාරීන්ගේ අවි උදුරා ගැනීමට උත්සාහ කිරීම හේතුවෙන් වෙඩි තැබීම සිදුකළ බව පොලීසිය වාර්තාකර ඇත.

පශු වෛද්‍යවරිය අතුරුදහන් වීමෙන් සතියකට පසුව ඇයගේ පුළුස්සන ලද මළසිරුර හමුවීමත් සමඟ ඉන්දියාව පුරාම විරෝධතා ව්‍යාපාර පැතිරයමින් තිබුණි. ඉන්දීය දේශපාලන දහරාවේ විවිධ දේශපාලන පක්ෂවලට අයත් තවත් මන්ත්‍රීවරුන් කීපදෙනෙක්ද එම සමූහ දූෂණය සහ ඝාතනය හෙළා දකිමින් අදහස් පළ කළහ. පශු වෛද්‍යවරිය දූෂණය කර මරාදැමූ පුද්ගලයන් නඩු විභාගයකින් තොරව මරා දමන ලෙස ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රී ජයා බච්චන් කළ  ඉල්ලීම ඒ අතර ප්‍රධානය. සැකකරුවෙකුගේ මවක්ද මේ අපරාධය කළ සිය පුත්‍රයාට වෙඩිතබා දැමිය යුතු යැයි  දැඩි ආවේගී ප්‍රකාශයක් මාධ්‍ය වෙත කර තිබුණි. රටේ බහුතර ආකල්පය වූයේද එයයි.