2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා

කමලා හැරිස් ආපසු හැරෙයි!

 2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 159

2020 අමෙරිකානු ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටි එකම සුළු ජාතික සම්භවයක් ඇති අපේක්ෂිකාව වන කමලා හැරිස් මැතිවරණ සටනෙන් ඉවත්වීමට තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් නිකුත් කරමින් ඇය සඳහන් කරන්නේ, අපේක්ෂකත්ව සටන මෙහෙයවීම සදහා ප්‍රමාණවත් මූල්‍ය ශක්‍යතාවක් නොමැති වීම හේතුවෙන් මෙම තීරණයට එළඹි බවය.

ජනාධිපති අපේක්ෂකත්වය සඳහා වන ප්‍රාථමික මැතිවරණය තවත් මාස දෙකකින් පසුව අයෝවා ප්‍රාන්තයෙන් ආරම්භ වීමට නියමිතය. කමලා තරම් ජනප්‍රිය නොවන අපේක්ෂකයන් පවා මැතිවරණ ව්‍යාපාරය තුළ වැඩි මූල්‍ය ආධාර එක්රැස් කරගනිද්දී ඇයගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා මූල්‍ය දායකත්වය හිමි නොවීම අවාසනාවක් බවයි. විචාරකයන් පවසයි. තමන්ට තමන්ගේම මැතිවරණ ව්‍යාපාරය සඳහා අවැසි මුදල් සපයා ගැනීමට නොහැකි වීමෙන් මෙවන් තීන්දුවක් ගැනීමට සිදුවීම ඉතාමත් වේදනාකාරී බව ඇය කියන්නීය.

කැලිෆෝනියා ප්‍රාන්තය නියෝජනය කරමින් අමෙරිකානු සෙනෙට් සභාවට තේරී පත්වූ 55 හැවිරිදි, කමලා හැරිස් සැලකෙන්නේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සරණාගතයන් සම්බන්ධ ප්‍රතිපත්ති නිර්දය සේ විවේචනය කළ තැනැත්තියක් ලෙසයි.

ඩිමොක්‍රොටික් පක්ෂය තුළ අතිශය ජනප්‍රිය චරිතයක්ද වූ ඇය 2020 අමෙරිකානු ජනාධිපතිවරණ අපේක්ෂකත්ව සටනේ සිටි එකම සුළු ජාතික නියෝජනයද විය. යම් හෙයකින් ඇය තේරී පත්වූවා නම් එම ධුරයට පත් පළමු කාන්තාව මෙන්ම දෙවැනි කළු අමෙරිකානුවාද ඇය වන්නට තිබුණි. ඇය ජැමෙයිකානු පියෙකුට සහ ඉන්දීය මවකට දාව ඇමෙරිකාවේදී උපන් දියණියකි. ඇය 2014 වසරේ සිට 2011 වසර දක්වා සැන් ෆ්‍රැන්සිස්කෝහි දිස්ත්‍රික් නීතිඥවරියක ලෙස කටයුතු කළාය. පසුව 2011 වසරේදී ඇය කැලිෆෝනියාහි නීතිපති ලෙස පත්කරනු ලැබුවේ, එම තනතුරට පත් පළමු සුදු ජාතික නොවන කාන්තාව ලෙසය. 2016 වසරේදී කැලිෆෝනියාහි සෙනෙට් සභික ධූරයට පත් වූ ඇය, ඊට පෙර එම ප්‍රාන්තයේ නීතිපතිවරිය වූවාය.

මීට වසර 47 කට පෙර නිව්යෝර්ක්හි චිසෝම් නමැති කාන්තාවක ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට තරග කළාය. පක්ෂය වෙනුවෙන් එම තරගයට ඉදිරිපත් වූ පළමු අප්‍රිකානු ඇමෙරිකානු කාන්තාව ඇය විය. ඇතැම් පිරිස් පවසන්නේ, කමලා හැරිස් චිසෝම් සිය ප්‍රචාරක කටයුතු සඳහා භාවිත කළ වර්ණ වන රතු සහ කහ වර්ණයන් භාවිත කරන බවය. මේ අතර, කමලා හැරිස් සිය නිල ලාංඡනය නිර්මාණය කිරීමේදී චිසෝම්ගේ ලාංඡනයෙන් (Chisholm logo) ආභාසය ලැබූ බව ඇයගේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු කියා තිබුණි. ඇය දැන් ආපසු හැරි ඇත්තේ එවන් විශාල සූදානමකින් පසුවය.