2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා

ඊශ්‍රායල් අගමැතිටත් වංචා සහ දූෂණ චෝදනා !

 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 49

ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහුට එරෙහිව වංචා සහ දූෂණ චෝදනා එල්ල වූ පසු ඔහුට එරෙහිව සහ පක්ෂපාතීත්වය පළකරමින් ජනතාව එරට ප්‍රධාන නගරවල වීථි බැස තිබේ. අල්ලස් ලබාගැනීම, වංචා සහ විශ්වාසය කඩකිරීම යන චෝදනා යටතේ ඊශ්‍රායලයේ නීතිපතිවරයා එරට අගමැති බෙන්ජමින් නෙතන්යාහුට එරෙහිව නඩු තුනක් පවරනු ලැබුවේ ඉකුත් 21 වැනිදායි. අගමැති නෙතන්යාහු ධනවත් ව්‍යාපාරිකයන්ගෙන් ත්‍යාග ලබාගෙන ඇති බවටත් මාධ්‍ය ඔස්සේ වඩාත් හොඳ ප්‍රතිරෑපයක් නිර්මාණය කරවා ගැනීම සඳහා උපකාර ලබාදී ඇති බවටත් එහිදී ඔහුට චෝදනා එල්ල විය. 

මෙලෙස නෙතන්යාහුට එල්ල වෙන ප්‍රධාන චෝදනාවක් වන්නේ යුදවාදී හා ජාතිකවාදී ප්‍රකාශන සිදුකරමින් ඊශ්‍රායල් ජනතාව තමන් වෙත නම්මවා ගැනීමට උත්සාහ දරන්නෙක් බවටය. නොබෝදා පැවති මහා මැතිවරණයට ප්‍රථම අල්ලස්, දූෂණ චෝදනා සම්බන්ධයෙන් වසර දෙකක පරීක්ෂණයකින් පසුව ඔහුට විරුද්ධව චෝදනා ගොනුකරන බව එරට නීතිපතිවරයා සඳහන් කළ නමුත් ඔහුට ඊශ්‍රායෙල් ජනයා අතර පවතින ජනප්‍රියත්වය තවමත් අහිමි නොවී ඇති බව සඳහන් කළ හැකිය. 

පසුගිය අප්‍රේල් සහ සැප්තැම්බර් මාසවලදී ඊශ්‍රායලයේ පැවති මහ මැතිවරණවලින් පසු එරට දේශපාලනය අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇත. අගමැතිවරයා සම්බන්ධයෙන් වන ඉහත කී චෝදනා ප්‍රකාශයට පත් කෙරුණේ එවැනි පසුබිමකදීයි. අල්ලස් ලබා ගැනීම, වංචා සහ විශ්වාසය කඩකිරීම යන චෝදනා යටතේ ඊශ්‍රායලයේ නීතිපතිවරයා එරට අගමැති බෙන්ජමින් නෙතන්යාහුට එරෙහිව වෙන වෙනම නඩු තුනක් පවරා තිබේ. අගමැතිවරයා මෙම චෝදනා ගොනු කිරීම හඳුන්වනු ලැබුවේ “කුමන්ත්‍රණ උත්සාහයක්” ලෙසය. එමගින් අපහාසාත්මක ක්‍රියාවලියක යෙදී ඇති බවත් ඔහු කියා සිටී. තමා සිය ධුරයෙන් ඉල්ලා අස් නොවන බව අවධාරණය කළ අගමැතිවරයා එසේ කිරීමට නීතියෙන් බැඳී නැති බවත් සඳහන් කළේය.

ඒ අතර රාජ්‍ය මුදල් අවභාවිත කර වංචා සිදු කිරීමේ චෝදනා යටතේ ඊශ්‍රායලයේ අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ බිරිඳට එරෙහිවද නඩුවක් පවරා තිබිණි. සාරා නෙතන්යාහුට එරෙහිව අධිචෝදනා ගොනුකරන ලද්දේ අගමැති නිල නිවසේ උත්සව අවස්ථා සඳහා ආහාර සැපයීමේදී ඇමරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් අවභාවිත කර ඇති බව පවසමිනි. පරීක්ෂණයකින් අනතුරුව විශ්වාසය කඩකරනු ලැබීම යටතේද අගමැති බිරිඳට එරෙහිව නඩු පවරා තිබුණි. සාරා නෙතන්යාහු එම චෝදනා ප්‍රතික්ෂේප කළාය. සාරා නෙතන්යාහු සමග, අගමැති කාර්යාලයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් එස්රා සෙයිඩොෆ්ට එරෙහිවද නඩු පවරනු ලැබ තිබුණි.

නෙතන්යාහු, 1996 සිට 1999 වසර දක්වා කාල සීමාව තුළ එරට අගමැතිවරයා ලෙස කටයුතු කරයි. ඒ එරට ලාබාලතම අගමැතිවරයා ලෙස වාර්තාවක් තබමිනි. 1999 වසරේ මහා මැතිවරණයෙන් පසුව දේශපාලනයෙන් තාවකාලිකව සමුගන්නවා. නෙතන්යාහු නැවතත් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන්නේ 2002 වසරේදීය. 2006 වසරේ දී එරට විපක්ෂ නායකයා බවට පත්වෙන නෙතන්යාහු 2009 වසරේ පැවති ඊශ්‍රායල් මහා මැතිවරණයෙන් පසුව එරට අගමැතිවරයා බවට පත්විය. එතැන් පටන් 2013 වසරේ, 2015 වසරේ හා 2019 වසරේ පැවති මහා මැතිවරණවලින් අනතුරැවත් එරට අගමැතිවරයා බවට පත්වෙන්නේ බෙන්ජමින් නෙතන්යාහුය. මේ වනවිට ඔහු එරට අගමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටින්නේ පස්වැනිවරටය. ඔහු පාසල් අධ්‍යාපනය ලබන සමයේ ඔවුන්ගේ පවුල ඇමෙරිකා එක්සත් ජනපදයේ කාලයක් පදිංචිව සිටි බැවින් නෙතන්යාහුට හිබ්රැ භාෂාවට අමතරව ඉංග්‍රීසි භාෂාවද හොඳින් කතා කළ හැකිය.

 

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00