2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා

ධවල මන්දිරයට ආ අපූරු නත්තල් ගසක් !

 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 115

නාඳුනන ගුවන්යානයක් වොෂිංටන්හී ගුවන් කලාපය උල්ලංඝනය කිරීමට ප්‍රතිචාර දක්වමින් ප්‍රහාරක ජෙට් යානා කිහිපයක් ද ගුවන් ගත කිරීමට අමෙරිකානු ගුවන් හමුදාව පියවර ගත්තේය. ඒ සමග ධවල මන්දිරය ආරක්ෂක හේතුන් මත වසා දැමීමට පියවර ගත්තේය. කෙසේ වෙතත් විනාඩි 30කට අඩු කාලයකදී තත්ත්වය සාමාන්‍ය අතට හැරුණු අතර ඉන්පසු දොර ඇරුණු ධවල මන්දිරය වෙත අශ්ව රථයකින් අපූරු තෑග්ගක් ලැබුණි. ඒ නත්තල් ගසකි. මේ වර්ෂයේදී ධවල මන්දිරය අලංකාර කිරීමට නියමිත එම නත්තල් ගස රැගත් අශ්ව රථය සම්ප්‍රදායානුකූලව පිළිගනු ලැබුවේ අමරිකානු ජනාධිපති ආර්යා මෙලනියා ට්‍රම්ප්ය. අඩි 16ක උසකින් යුක්ත එම නත්තල් ගස පෙන්සිල්වේනියාවේ පිට්මන්හි පිහිටා ඇති මහන්ටොංගෝ නිම්නයේ වනාන්තරයකින් ගෙන ආවකි. 

මෙවර නත්තලේදී අගනගරයේ ප්‍රදර්ශනය කරන කැපිටල් නත්තල් ගසද පසුගියදා වොෂින්ටනය වෙත ලැබිණි. අඩි 60ක් උසැති එම ගස නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේ කාර්සන් ජාතික වනාන්තරයෙන් ගෙනැවිත් ඇති බව වාර්තා විය.‍ පසුගිය 11 වැනිදා කැපිටල් නත්තල් ගස රැගත් රථය රට හරහා ගමන් ආරම්භ කළ අතර  එක්සත් ජනපදය හරහා ගිය ගමනේදී මෙම රථය නැවතුම් ස්ථාන 24කදී ජනතාවට ප්‍රදර්ශනය කර  තිබේ. මෙහිදී කැපිටල් නත්තල් ගසෙහි වැඩබලන නිර්මාණ ශිල්පී තෝමස් කැරොල්, නත්තල් ගස අගනගරයට ගෙන ඒමට දායක වූ සියලු ජනතාවට තම ස්තූතිය පිරිනැමීය.