2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා

පළිඟු නත්තල් ගසක් සහ අමුතු නිවසක්!

 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 140

ඉවතලන බෝතල් යොදා ගනිමින් ඉදිකළ අමුතු නිවසක් පිළිබඳව බ්‍රසීලයෙන් තොරතුරු වාර්තා වෙද්දී දුර්ලභ පළිගු 3000කට වැඩි ප්‍රමාණයක් යොදාගෙන නිර්මාණය කළ නත්තල් ගසක් පිළිබඳ පුවතක් ඩෙන්මාර්කයෙන් වාර්තා වෙයි. බ්‍රසීලයේ සාඕ පවුලෝ  ප්‍රාන්තයේ වාසය කරන ඉවොන් මාටින්ස් නමැති එක්දරු මවක් අවට පරිසරයේ කසළ ලෙස එක්රුස් වී තිබූ වීදුරු බෝතල් හය දහසක් පමණ යොදාගෙන එම නිවස ඉදිකර ඇත. 

එමෙන්ම නිදන කාමරයක්, මුළුතැන්ගෙයක්, නාන කාමරයක් හා කොරිඩෝවකින් එය සමන්විතය. එමෙන්ම ප්‍රතිචක්‍රීකරණය කළ ද්‍රව්‍ය යොදා ගනිමින් ඉදිරියේදී මෙම නිවසට අවශ්‍ය ගෘහභාණ්ඩ නිපදවීමටත් ඇය බලාපොරොත්තුවෙන් සිටියි. 

සිමෙන්ති බදාම මගින් බෝතල් එකිනෙක සම්බන්ධ කර තනා ඇති මීටර් තුනක් උසැති ඉවෝන්ගේ නිවස මීටර් නවයක පළලින් හා මීටර් අටක දිගින් යුක්තය. සිය පුත්‍රයාගේ මරණයත් සමඟ ඇතිවූ පීඩනය අවම කිරීමේ අරමුණින් ඉවොන් මෙම අපූරු නිවස ඉදිකිරීම ආරම්භ කර තිබේ.

ළඟ ළඟම එළඹෙන නත්තල් සමය වෙනුවෙන් ලොව වටා වෙසෙන කතෝලික ප්‍රජාව මේ වන විට ලහිලහියේ සූදානම් වෙමින් සිටිති. ඒ වෙනුවෙන් නිර්මාණය කළ අපූරු නත්තල් ගසක් පිළිබඳ පුවත වාර්තා වන්නේ ඩෙන්මාර්කයේ කොපන්හේගන් අගනුවරිනි.

ස්වොරොස්කි පළිගු නම් ඉතාමත් වටිනා පළිගු යොදා ඩෙන්මාර්කයේ නිර්මාණය කළ පළමු නත්තල් ගස මෙයයි. එය පසුගිය සති අන්තයේ දී මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කෙරුණි. නත්තල් ගසට අපූරු දිස්නයක් ගෙනෙන මේ පළිගු මුදලින් අමෙරිකානු ඩොලර් 146,000කට වඩා වටිනාකමින් වැඩි අතර මෙම නත්තල් ගස නිර්මාණය සඳහා නිර්මාණකරුවන් තිදෙනකුට දින දහයක කාලයක් ගත වී තිබුණි. මෙය, ලබන වසරේ ජනවාරි මාසය දක්වා මහජන ප්‍රදර්ශනය සඳහා තැබෙනු ඇත.