2019 නොවැම්බර් 16 වන සෙනසුරාදා

බොලිවියාවේ අලුත් විරෝධයක්!

 2019 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 39

සිය ධූරයෙන් ඉල්ලා අස් වූ බොලීවියා ජනාධිපති ඊවෝ මොරලෙස්හට මේ වනවිට මෙක්සිකෝවේ දේශපාලන රැකවරණ හිමිව තිබේ. දැන් නැවතත් ඔහු ඕනෑ බව කියමින් ජනතාව වීදි බැස තිබේ. 

පසුගිය ජනාධිපතිවරණයේදී දූෂණ අක්‍රමිකතා සිදුවූ බවට චෝදනා එල්ලවීමත් සමඟ ඔහුට එරෙහි ජනතා විරෝධය උත්සන්න විය. ඉකුත් ඔක්තෝබර් මස 20 වැනි දින පැවැති මැතිවරණයේ ප්‍රතිඵල අවලංගු කරන ලෙස ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයෝද ඉල්ලා සිටියහ. ඉන්පසු බොලීවියා මැතිවරණ කොමිසමේ තනතුරු සඳහා නව නිලධාරීන් පත්කළ ඊවෝ මොරලෙස්, යළි මැතිවරණයක් පවත්වන බව නිවේදනය කළේය. 

කෙසේ වෙතත් දේශපාලනඥයන්, හමුදාව සහ පොලිස් ප්‍රධානීන් ඔහුට ධූරයෙන් ඉවත්වන්නැයි, බලපෑම් කිරීම හමුවේ ඊවෝ මොරලෙස් සිය ධූරයෙන් ඉවත්වීමට තීරණය ගෙන ඇත. රූපවාහිනිය ඔස්සේ ජනතාව ඇමතූ ජනාධිපතිවරයා තමන් සිය ධූරයෙන් ඉල්ලා අස්වන බවත්, විරෝධතා නතර කරන ලෙසත් උද්ඝෝෂකයන්ගෙන් ඉල්ලා සිටියේය.  
මොරාලෙස් බොලිවියාවෙන් පලාආවේ 14 වසරක් වූ වාමාංශික පාලනය අවසන් කරමිනි. විරෝධතාවේ නිරත කුමන්ත්‍රණකරුවන් සිය හිස වෙනුවෙන් අමෙරිකානු ඩොලර් පනස් දහසක් ලබාදීමට සූදානමින් පසුවන බව මොරාලෙස් මීට පෙර අනාවරණය කර තිබුණි. මේ හේතුවෙන් සිය ජීවිතය රැකගැනීමේ අරමුණින් මෙක්සිකෝවෙන් පලා ආ බවද මෙක්සිකෝවේදී මාධ්‍ය අමතමින් මොරාලෙස් පැවසුවේය. ඔහු මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේ, තමන් ජීවිතාරක්ෂාව පතා පලා ආවත්, සටන් තවමත් අහවර වී නොමැති බවයි. දැන් එය සනාථ වෙමින් ඇත. 

බොලිවියානු රාජ්‍යයේ පිහිටුවාගත් නව අන්තර්වාර රජයේ ජනාධිපතිනිය ලෙසින් විපක්ෂයේ සෙනෙට් සභික ජෙනීන් එනෙස් පත් විය. පාර්ලිමේන්තු සභිකයන්ගේ අභිමතය දිනාගත් එනෙස් ධුරයේ දිවුරැම් දීමේ සභාවාරය වර්ජනය කිරීමට මොරාලෙස්ගේ පක්ෂයේ සභිකයන් කටයුතු කර තිබුණි. මේ අතර ජනාධිපති මොරාලෙස්ට සහාය පලකරන රැලි කිහිපයක් තවදුරටත් ලාපාස් අගනුවරදී පැවැත්වෙයි. විරෝධතාකරැවන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, මොරාලේස්ට එරෙහිව විපක්ෂය එල්ල කරන චෝදනා ඉතාමත් දෝෂ සහගත බවයි.

 

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00