2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා

ලෝක දේශගුණයටත් ට්‍රම්ප් කොකා පෙන්නයි!

 2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 121

එක්සත් ජනපද හිටපු ජනාධිපති බැරක් ඔබාමාගේ පරිපාලනය යටතේ එක්සත් ජනපදය අත්සන් තැබූ පැරිස් ගිවිසුමෙන් ඉවත්වීමට ඇමෙරිකාව ආත්මාර්ථකාමී තීන්දුවක් ගෙන තිබේ. තමන් දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීම සඳහා වන ගෝලීය ගිවිසුමෙන් ඉවත්වන බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පසුගිය සඳුදා නිල වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට දැනුම් දී ඇත.

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පැරිස් ගිවිසුම ප්‍රකාරව කටයුතු කිරීම තම රටේ ආර්ථිකයට අසාධාරණ බරක් බව ප්‍රකාශ කර ඇත. ගිවිසුමට අනුව හරිතාගාර වායූන් විමෝචනය වීම අවම මට්ටමක පවත්වා ගැනීමට තම රටට තවදුරටත් උත්සාහ කළ නොහැකි බව ඔහුගේ මතයයි. ලෝකයේ ඉහළම ප්‍රමාණයකින් හරිතාගාර වායූන් විමෝචනය කරන රටක් වන ඇමෙරිකා එක්සත් ජනපදය එවැනි පසුබිමක සිට ගිවිසුමෙන් ඉවත් වූ ප්‍රථම රට බවට පත්වනු ඇත.
ඇමරිකානු ජනපතිවරයා විසින් ඇමරිකාව තුළ ඉන්ධන, ගෑස් සහ ගල් අඟුරු කර්මාන්ත ඉහළ නංවන බවට ඇමෙරිකානුවන් ඉදිරියේ පොරොන්දුවීමත් සමග ඔහුගේ මෙම තීරණය ඉක්මන් වීමට හේතු විය. දේශගුණික විපර්යාස යනු චීනය සහ රුසියානුවන් විසින් නිර්මාණය ලද මුසාවක් බවත් එය තමන් පිළිනොගන්නා බවත් මීට පෙර ඇමෙරිකානු ජනපතිවරයා විසින් ප්‍රකාශ කෙරිණ.

ට්‍රම්ප්ගේ ආත්මාර්ථකාමී මේ තීන්දුව  පිළිබඳව නිවේදනය කරමින් ඇමරිකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලේකම් ඇන්ටෝනියෝ ගුටෙරස් වෙත ලිපියකින් දන්වා ඇත්තේ 2020 ඇමෙරිකා එක්සත් ජනපති මැතිවරණයෙන් දිනකට පසු එනම් නොවැම්බර් 4දායින් පසු ඇමෙරිකාව තවදුරටත් පැරිස් ගිවිසුමට අනුව කටයුතු නොකරනු ඇති බවයි. රාජ්‍යයන් 200කට ආසන්න සංඛ්‍යාවක් මෙම ගිවිසුමට එකඟ වී ඇති අතර ඒ සෑම රටක්ම දේශගුණ විපර්යාසයන්ට තුඩුදෙන කාබන්ඩයොක්සයිඩ් විමෝචනය සීමා කිරීමට පොරොන්දු වී ඇත. 

මෙම ගිවිසුමට එක්සත් ජනපද හිටපු ජනාධිපති බැරක් ඔබාමාගේ පරිපාලනය යටතේ එක්සත් ජනපදය අත්සන් තැබූ අතර 2005 වසරේ සිට 2030 වනවිට එක්සත් ජනපදය හරිතාගාර වායු විමෝචනය සියයට 26-28 ප්‍රමාණයකින් අඩුකරන බවට පොරොන්දු විය. නමුත් ට්‍රම්ප්ගේ ආත්මාර්ථකාමී තීන්දුව වූයේ  එක්සත් ජනපද ආර්ථිකයට මෙය හානියක් හෙයින් මෙම ගිවිසුමෙන් සිය රට ඉවත් වියයුතු බවයි.