2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා

ප්‍රවාහන ගාස්තු විරෝධය චිලියේ18ක් බිලිගනියි

 2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 35

චිලී රාජ්‍යයේ සැන්තියාගෝ අගනුවර විරෝධතාකරුවන් හා පොලීසිය අතර ගැටුම් යළි ආරම්භ වී තිබේ. දෙපාර්ශ්වය අතර ප්‍රබල ගැටුම් හටගෙන ඇත්තේ පැවැති විරෝධතා පාලනයට පොලීසිය ගත් උත්සාහයකදීයි. චිලී රාජ්‍යයේ ප්‍රධාන නගරය කේන්ද්‍ර කරගෙන  ආරම්භ වූ විරෝධතාවන්ට හේතුව ලෙස දක්වන්නේ ප්‍රවාහන ගාස්තු දිගින් දිගටම ඉහළ යාමය.

චිලී රාජ්‍යය මුහුණදී ඇති ආර්ථික අර්බුද මූලික කරගත් විරෝධතා පසුගිය සති කිහිපයේදීම සැන්තියාගෝ අගනුවර ඇතුළු ප්‍රධාන නගර කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක විය. ඉතාමත් කලහකාරී වූ මේ විරෝධතා අතරතුර වූ ගැටුම්වලදී මියගිය පිරිස 18කට අධිකය. තවත් 7,000කට වැඩි පිරිසක්ද අත්අඩංගුවට පත්ව සිරභාරයේ පසුවෙති. නව විරෝධතා යළිත් ආරම්භ වූයේ මෙවන් පසුබිමකදීයි. මේ වනවිට රජයට එරෙහි එම විරෝධතා උග්‍ර අතට හැරී තිබේ.

සති ගණනාවක් පුරා පැවැති විරෝධතාවලදී චිලී ආර්ථිකයට අමෙරිකානු ඩොලර් බිලියන 1.4ක පාඩුවක් සිදුව තිබේ. සැන්තියාගෝ නාගරික කලාපයට පමණක් සිදුවූ හානිය අමෙරිකානු ඩොලර් මිලියන 400 ඉක්මවන බවට සඳහන් වෙයි. විරෝධතාකරැවන්ගේ මතය වී ඇත්තේ, කලෙක දකුණු අමෙරිකානු කලාපයේ ආර්ථික දැවැන්තයෙකුව සිටි චිලී රාජ්‍යය මෙවන් දරැණු ආර්ථික පසුබෑමකට මුහුණදීම සම්බන්ධයෙන් දුර්වල පාලකයන් වගකිව යුතු බවයි.