2019 නොවැම්බර් 02 වන සෙනසුරාදා

ඉම්රාන් එරෙහි මහා ජන ගඟක් ඉස්ලාමාබාදයට!

 2019 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 364

ඉස්ලාමාබාදයේ කඩසාප්පු සහ පාසල් වැසී ගොසිනි. සිකුරාදා හවස වනවිට නැගෙනහිර ලාහෝරයේ සිට අගනගරය බලා එන්නට පිටත් වූ මහා විරෝධතා ජනරැල්ලට ඉඩ දෙන්නටය. මේ රැල්ල රටේ අගමැති ධූරය දරන හිටපු ක්‍රිකට් තරුව ඉම්රාන් ඛාන් පන්නා දමා රටේ බලය පෙරළන්නට නැගී එන්නකි.

ඛාන්ට එරෙහි මේ විරෝධය පාකිස්තානයේ ප්‍රධාන ආගමික කල්ලියක ප්‍රධානියා වන ෆස්ලූර් රෙහ්මාන් ඇරඹූවකි. ඔහු චෝදනා නඟන්නේ ඛාන් මිලිටරිය මගින් දූෂිත ඡන්දයකින් පසු බලයේ පිහිටුවන ලද අදක්ෂ නීති විරෝධි තැනැත්තෙකු හැටියටය. ෆසාලූර්ගේ අරමුණ ඛාන් බලයෙන් පන්නා රට තුළ නීත්‍යනුකූල රජයක් පත් කිරීමය.

“අපිට ඕනෑ අගමැතිගේ ඉල්ලා අස්වීම, මුළු කැබිනට් මණ්ඩලයම බොරුවක්, අපිට ඕනෑ ඒක විසිරුවා හරින්න.” ෆස්ලූර් රෙහ්මාන් ‘නිදහස' ලෙස නම්කර ඇති තමන්ගේ පාගමන අරඹමින් මාධ්‍ය හමුවේ විස්තර කළේ එලෙසටය.

ක්‍රිකට් සූරයා ඛාන් මධ්‍යම පාන්තික ඡන්ද රැල්ලෙන් බලයට ආ ජනප්‍රිය තරුවකි. නමුත් දැන් ඔහුගේ ජනකාන්ත බවට ලැබී ඇත්තේ බැසයන කලාවකි. රටේ ආර්ථිකය කඩාවැටී ලෝක බැංකුවෙන් ඩොලර් බිලියන 6ක ණයක් ගන්නටත් පසුගිය ජූලියේදී සිදුවිය. ඛාන් මේ චෝදනා පිළිගන්නේ නැත. ඔහු තමන් නිත්‍යනුකූලව බලයට පත්වූ බවම කියයි. ෆස්ලූර් රෙහ්මාන් තෙම්පරාදු දේශපාලකයෙකු වන අතර රටේ පාර්ලිමේන්තුවේ සහ පළාත් ආයතන කිහිපයකම බලය හිමි අයෙකි. ඒ අතරම රටපුරා ආගමික කල්ලි හෙවත් මද්රාසාවල බලය හිමි අයෙකි. රටේ ප්‍රධාන විපක්ෂ දෙකම ඔහුට සහාය දෙන්නට එක්ව ඇත. ඒ හැබැයි ව්‍යවස්ථානුකූල බල පෙරැළියකටය.

ඛාන් කාලයක සිට විපක්ෂයට තමන් හා එක්වන්නැයි ඉල්ලා සිටී. මේ මොහොතේද එකඟතාවකට සූදානම් බව රජය කියා ඇත. නමුදු රටේ සහ අගනගරයේ ක්‍රියාකාරීත්වය අඩපණ කිරිමට ඉඩ නොදෙන බවද කියා තිබේ. මේ වනවිට පොලිසිය මාර්ග බාධක පනවා, පරීක්ෂක පොලු අරඹා හමාරය. අගනගරයේ ප්‍රධාන ගොඩනැගිලි ආරක්ෂාව තහවුරු කර ඇති අතර කන්ටේනර් යොදා මාර්ග අවහිරකර හමාරය.

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00