2019 නොවැම්බර් 02 වන සෙනසුරාදා

පාකිස්තාන දුම්රිය ඛේදවාචකය!

 2019 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 123

පාකිස්තානයේ කරච්චි නුවර සිට රාවල්පිණ්ඩි දක්වා ගමන් කරමින් තිබූ ඉපැරැණි දුම්රියක ඇතිවූ ගින්නකින් 75කට ආසන්න පිරිසක් මියගොස් ඇත. තවත් පුද්ගලයින් 40 දෙනෙකු ගින්නෙන් තුවාල ලබා ඇත. ගින්න අවම වශයෙන් දුම්රිය මැදිරි තුනකට පැතිර ගොස් ඇත. බලධාරීන් පවසන්නේ, ජීවිතක්ෂයට පත්වූවන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවය.

දුම්රිය තුළ උදෑසන ආහාරය පිසීමට යොදාගත් ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් ගින්න හටගෙන ඇති බව පාකිස්ථාන දුම්රිය කටයුතු භාර ෂෙයික් රෂීඩ් අහමඩ් අමාත්‍යවරයා කියයි. දුම්රිය තුළට ආහාර රැගෙන ඒම සාමාන්‍ය දෙයක් වුවද, ගෑස් සිලින්ඩර් රැගෙන යාම තහනම් කර තිබේ. නමුත් එරට දීර්ඝ ගමන් සඳහා මගීන් ආහාර පිසීමට ලිප් රැගෙන ඒම ගැටලුවක් වී ඇති බව ඇමතිවරයා කියයි. නමුත් ගින්නෙන් දිවි බේරාගත් කිහිප දෙනෙකු පවසා ඇත්තේ ගින්නට හේතුව දුම්රියේ විදුලි පරිපථයක දෝෂයක් විය හැකි බවය. මේ සම්බන්ධයෙන් “කඩිනම් පරීක්ෂණයක්” පැවැත්වීමට නියෝග කරන බව මෙම දරුණු ශෝකාන්තය පිළිබඳව බෙහෙවින් කනගාටු වන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් (ට්විටර්) ඔස්සේ පවසා තිබුණි.

පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ රහීම් යාර් ඛාන් නගරය ආසන්නයේදී මෙම අනතුර සිදුව ඇත. ගිනිගත් දුම්රියේ සිටි බොහෝ දෙනෙක් ලාහෝර් නගරයට ආසන්න (රායිවින්ඩ්) නගරයේ පැවැත්වෙන පාකිස්තානයේ විශාලතම වාර්ෂික ආගමික සමුළුවකට සහභාගි වීම සඳහා යමින් සිටි බැතිමත්හු වූහ. ගින්න හටගත් අවස්ථාවේ 11 වන මැදිරියේ මගීන් 54 දෙනෙකු සහ 12 වන සහ 13 වන මැදිරිවල මගීන් 78 දෙනා බැගින් සිට ඇත. පාකිස්තානය මාරාන්තික දුම්රිය අනතුරු සම්බන්ධ ඉතිහාසයක් ඇති රටකි. මෙම අනතුරුවලදී ජීවිතක්ෂයට පත්වන සහ තුවාල ලබන පිරිස අධික වන්නේ, දුම්රිය මැදිරිවල ගමන් කළ හැකි ප්‍රමාණයට වඩා අධික පිරිසක් ගමන් කිරීම හේතුවෙනි.

මෙය දශකයකට අධික කාලයක් තුළ පාකිස්තානයේ සිදුවූ දරුණුතම දුම්රිය අනතුර ලෙස වාර්තා වේ. ජූලි මාසයේදී දුම්රිය අනතුරකින් මගීන් 11 දෙනෙකු මියගිය අතර, සැප්තැම්බර් මාසයේදී ද සිව් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 2007 වසරේදී (මේරාබ්පූර්) ආසන්නයේදී සිදුවූ දුම්රිය අනතුරකින් යටත් පිරිසෙයින් පුද්ගලයින් 56 දෙනෙකු මියගොස් 120 දෙනෙක් තුවාල ලැබූහ. 2005 වසරේ (සින්ද්) ප්‍රාන්තයේදී දුම්රිය තුනක් ගැටීමෙන් පුද්ගලයින් 130 දෙනෙකුට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. එය එරට සිදුවූ දරුණුතම දුම්රිය අනතුරුවලින් එකකි.