2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා

ඡන්ද පිට ඡන්ද තිබ්බත් ඊශ්‍රායලයට රජෙක් නෑ

 2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 12:30 102

ඊශ‍්‍රායල නව රජය පිහිටුවීමට එරට නිල් සහ සුදු පක්ෂ නායකබෙනී ගෑන්ට්ස්ට එරට ජනාධිපතිවරයා ඇරයුම් කර තිබේ. ඒ අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු රජය පිහිටුවීමට ගත් සෑම උත්සාහයක්ම අසාර්ථක වීමෙන් පසුවය. ඒ අනුව පසුගිය මැතිවරණයේදී නෙතන්යාහුට අභියෝගයක් වූ හිටපු මාණ්ඩලික ප්‍රධානී බෙනී ගෑන්ට්ස්ට රජයක් පිහිටුවීමටත් අගමැති ධූරයට පත්වීමටත් දැන් අවස්ථාව උදා වී තිබේ.

කෙසේ වෙතත් ඒ සඳහා ඔහුට ලබාදී ඇත්තේ දින 28ක කාලයක් පමණයි. එම කාලය තුළද නව රජය පිහිටුවීමට අපොහොසත් වුවහොත් ඊශ්‍රායලයට යළිත් වරක් මැතිවරණයකට යාමට සිදුවනු ඇති. එවිට ඒ වසරක් වැනි කෙටිකාලයක් තුළ පැවැත්වෙන තෙවන මැතිවරණය වනු ඇත. ඊශ්‍රායල් පාර්ලිමේන්තුව සෙනෙට් සභාව යනුවෙන් හැඳින්වෙයි. පසුගිය සැප්තැම්බර් 17 වැනිදා පැවති මැතිවරණයෙන්ද නෙතන්යාහු සහ ඔහුගේ ලිකුද් පක්ෂයට හෝ ප්‍රතිවාදී අපේක්ෂක බෙනී ගෑන්ට්ස්ගේ නිල් සහ සුදු පක්ෂයට හැකියාවක් ලැබුණේ නැත.

ඒ අනුව සෙසු පක්ෂ හවුල් කරගනිමින් රජයක් පිහිටුවන්නැයි දින 28ක කාලයක් ඊශ්‍රායල් ජනාධිපතිවරයා නෙතන්යාහුට ලබාදුන්නේය. බෙන්ජමින් නෙතන්යාහු සමඟ එකගෙයි කෑමකට තමන් කිසිසේත්ම සූදානම් නැති බව ඊශ්‍රායලයේ හිටපු හමුදා ප්‍රධානියෙක් වන බෙනී ගැන්ට්ස් එදාම කියා තිබුණි. ඒ සමඟ සභාග රජයක් ගැන අගමැති බෙන්ජිමන් නෙතන්යාහු ඉදිරිපත් කළ අදහස ලත්තැනම ලොප් වී ගියේය. එකම වසරේ මාස 05කින් පසු ඊශ්‍රායලයේ පැවැති දෙවැනි මහ මැතිවරණයේ ප්‍රතිඵල අනුව පෙරමුණ ගෙන සිටියේ  එරට විපක්ෂ අපේක්ෂක බෙනී ගැන්ට්ස්ය. ඔවුන් ආසන 33ක් දිනාගත් අතර බෙන්ජිමන් නෙතන්යාහුගේ පක්ෂය සඳහා ලැබුණේ ආසන 31කි. කිසිම පක්ෂයක් තනිව බලය පිහිටුවීමට අවශ්‍ය ආසන 57 සපුරා නැත.

බලය ලෙහෙසියෙන් අත්හරින්නට අකමැති - අගමැති බෙන්ජිමන් නෙතන්යාහු සභාග රජයකට එක්වන්නැයි සිය ප්‍රතිවාදියා වන හිටපු හමුදා ප්‍රධානී බෙනී ගැන්ට්ස් හට ආරාධනා කර තිබුණි. ඊශ්‍රායලය සඳහා ශක්තිමත් රජයක් අවශ්‍ය බවත්, එය ස්ථාවර රජයක් විය යුතු බවත් අරාබියේ සහාය ලබන පක්ෂයක් යටතේ රට පාලනය කළ නොහැකි බවත් අගමැති බෙන්ජමින් නෙතන්යාහු කියයි. තමන් සන්ධානයකට ගියත් ඒ නෙතන්යාහු සමඟ නම් නොවන බව වැඩි ඡන්ද දෙකකින් දිනූ බෙනී ගැන්ට්ස් කියා තිබුණි. ඔහුට සභාගයකදී ආසන 57ක් ලබාගත හැකිය. බලය ලෙහෙසියෙන් අත්හරින්නට අකමැති - අගමැති බෙන්ජිමන් නෙතන්යාහුහට ආගමික හිතවාදී පක්ෂවල ආධාර ලැබුණද හිමිවන්නේ ආසන 55 කි. එහෙත් ඔහු බලය අතහැරීම සඳහා තවම කල් මරමින් සිටී

පසුගිය අප්‍රේල් මස පැවැති මහ මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය බෙන්ජිමන් නෙතන්යාහුට පාලක සන්ධානයක් ගොඩනැගීමට නොහැකි වීම හේතුවෙන් හදිසි මැතිවරණයක් කැඳවීමට තීරණය කර තිබුණි. දැන් එහි ප්‍රතිඵලය ද රට කළඹන සුළුය.