2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා

ලන්ඩනය කැළඹූ සංක්‍රමණික ඝාතනය

 2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 12:30 161

එංගලන්තයේ එසෙක්ස් හි ග්‍රේස් ප්‍රදේශයේ පිහිටි වෝටර්-ග්ලේඩ් නමැති කර්මාන්ත කලාපයේ ලොරි කන්ටේනරයක තිබී මළ සිරුරු 39 සොයාගත්තේ ඉකුත් බදාදාය. වැඩිහිටියන් 38 දෙනෙකු සහ එක් නව යෞවනයෙකු මරණයට පත් පිරිස අතර විය. ඉන් 08ක් කතුන්ය. දැන් මේ මළ සිරුරු 39 චීන ජාතිකයන්ගේ යැයි දැන ගැනීමට ලැබී ඇත. ඔවුන් රථයට නංවා ඇත්තේ සීබ්‍රජ් වරායේදි බව එළි වී ඇත.

අයර්ලන්තයට අයත් ලොරි රථය බෙල්ජියම ඔස්සේ පැමිණ ඇතැයි සැක කෙරෙයි. ඒ අනුව උතුරු අයර්ලන්ත බලධාරීන් විසින් නිවාස 3ක්  වටලනු ලැබ පරීක්ෂාවට ලක්කර  ඇත. 25 හැවිරිදි අයර්ලන්ත ජාතික මෙම ලොරි රථයේ රියැදුරු මොරිස් මෝ රොබින්සන් නමැත්තා මිනීමැරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් පොලීසිය ඔහුගෙන් ප්‍රශ්න කරමින් සිටී. ඒ අතර මිනිස් ජාවාරම්කරුවන් පසුපස බලධාරීහු  ලුහුබඳිමින් සිටිති. චීන බලධාරීහු වෙනම පරීක්ෂණයක් අරඹා තිබෙන අතර මේ පුවත එරට තුළ ප්‍රචාරය වීම වාරණය කර ඇත. මෙලෙස මියගොස් ඇත්තේ සංක්‍රමනික පිරිසකි. කන්ටේරය තුළ ශීතලෙන් ගල් වී මේ පිරිස මියගොස් තිබෙන්නේ ජීවිතය සොයා ආ ගමනකදීය.

සංක්‍රමණිකයන් සම්බන්ධ මෙබඳු මානව ශෝකාන්තයන් වාර්තා වන්නේ අද ඊයේක සිට නොවේ. 2000 වසරේදී මේ අයුරින්ම ඩෝවර්හි ලොරි රථයකින් චීන සංක්‍රමණිකයන් 58 දෙනෙකුගේ මළසිරුරු හමුවිය. ඒඅතර අතරමැදි අවස්ථාවලදී මරණයට පත් සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යා ලේඛන එක්සත් ජාතීන් විසින් 2014 වසරේ සිට වාර්තා කරනු ලැබ ඇත. එතැන් පටන් සංක්‍රමණිකයන් යැයි සැක කෙරෙන පුද්ගලයන් ගණනාවකගේ  මළසිරුරු එක්සත් රාජධානියේ ලොරි රථ හෝ කන්ටේනර තුළ තිබී සොයාගෙන තිබේ.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00