2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා

ලෝකය හිනැස්සූ ඉන්දියාවේ විභාග විහිළුව!

 2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 12:30 170

සමාජ ජාල ඔස්සේ මහත් උපහාසයකට ලක් වූ ජායාරූප පෙළක් නිකුත් විය. ඉන්දියාවේ සිසුහු හිසේ කාඩ්බෝඩ් පෙට්ටි පැළඳ විභාගය ලියන්නට ඉඳගෙන සිටිනා අයුරු ඒවායේ දක්නට ලැබුණි. සිය හිස මත කාඩ්බෝඩ් පෙට්ටි පැළඳ විභාගයකට පෙනී සිටිනා සිසුන් පිරිසගේ මෙම විසුළුරූපී ඡායාරූප ප්‍රසිද්ධ වීමත් සමඟ ඒ සම්බන්ධයෙන් ඉන්දියාවේ අදාළ පාසල් බලධාරීහු සමාව ඉල්ලා සිටියහ.

අදාළ ඡායාරූප ගෙන ඇත්තේ කර්ණාටක ප්‍රාන්තයේ හවෙරි හි පිහිටි (භාගත් ප්‍රී-යුනිවර්සිටි කොලේජ්) නමැති උසස් අධ්‍යාපන ආයතනයේ පැවති රසායනික විද්‍යා විභාග පරීක්ෂණයක් අතරතුරදීය. අන් අයගේ උත්තර පත්‍ර දෙස බැලීම වළකාලීම සඳහා විභාග අපේක්ෂකයන් එක් පැත්තක් පමණක් විවෘත කරන ලද කාඩ්බෝඩ් පෙට්ටි හිස පැළඳ සිටින ආකාරය ඡායාරූපවල දැක්වේ.

අන්තිමේ විභාග වංචා වැළැක්වීමේ අරමුණින් අසාමාන්‍ය ක්‍රමවේදයක් අත්හදා බැලීමට සිදුවීම පිළිබඳ කනගාටුව පළ කිරීමට බලධාරීන්ට සිදුවිය. නමුත් විභාග වංචා කිරීම් සහ ඒවාට වැට බැඳීම සඳහා යොදාගන්නා අසාමාන්‍ය ක්‍රමවේද ඉන්දියාවේ දුලභ නොවේ. එක්වරක් හමුදා සේවයට අයදුම් කළ තරුණයන් සිය ගණනකට සිය යට ඇඳුමින් ලිඛිත පරීක්ෂණය සඳහා පෙනී සිටීමට සිදු වූ පුවතක් 2016 වසරේදී ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයෙන් වාර්තා විය. විභාග වංචා වැළක්වීමේ අරමුණින් අයදුම්කරුවන්ට ඇඳුම් උනා දැමීමට නියෝග කර තිබුණු අතර සිය යට ඇඳුමින් පමණක් සැරසුණු අපේක්ෂකයන් මුසාෆර්පර් නගරයේ එළිමහන් භූමියක් මත හිඳ සිටින අයුරු දැක්වෙන ඡායාරූපවල එවක පළවිය.

විභාග අපේක්ෂකයන්ට පිළිතුරු ලබාදීම සඳහා දෙමව්පියන් සහ ඔවුන්ගේ මිතුරන් විභාග ශාලා ගොඩනැගිලි බිත්ති මත නැග සිටින අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් මෙලෙසම 2015 වසරේදී මාධ්‍ය තුළ මහත් ආන්දෝලනයක් ඇති කළේය. කෙසේ හෝ ඡායාරූප පිළිබඳ කන වැකුණු කලාප අධ්‍යාපන බලධාරීහු අවශ්‍ය පියවර ගැනීම සඳහා වහාම අදාළ පාසලට පැමිණ තිබුණි.