2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා

තායිලන්ත රජගෙදර තටු සිඳුණු පරෙවියා!

 2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 12:30 108

නොසිතූ ඉහළකම පියාඹන්නට ගොසින් තටු සිඳගත් පරෙවියකුගේ තත්ත්වයට ඇද වැටුණු කාන්තාවකගේ ශෝකාන්ත කතාවක් තායිලන්තයෙන් වාර්තා විය. පුහුණු ගුවන් නියමුවරියක, හෙදියක සහ ආරක්ෂක නිලධාරිනියක ලෙස ප්‍රසිද්ධිය ලද තායිලන්ත රජුගේ සිව්වන බිරිඳ වන 34 හැවිදිරි සීන්නීනාත් වොන්වෂිරාපක්දි සියලු නිලතලවලින් ඉවත් කිරීමේ අමුතු පුවතය.

67 හැවිදිරි තායිලන්තයේ මහා වජිරලොංකොර්න් රජු සුතිදා රැජින සමග විවාහ වී දෙමසකට පසු පසුගිය ජූලි මස සීන්නීනාත් වොන්වෂිරාපක්දිට සිය නිල සහකාරිය තනතුර පිරිනැමීය. නමුත් ඉතා කෙටි කලෙකින්ම ඇය දැරූ තනතුරු සහ පදවිවලින් හිටි අඩියේම ඉවත් කරනු ලැබීම රජ පවුලේ නිරීක්‍ෂකයන් පවා අන්දුන් කුන්දුන් කිරීමට හේතුවී තිබේ.

ඇයට හිමිව තිබුණේ වල්ලභ කාන්තාවගේ තත්ත්වයයි. වල්ලභ (consort) යන වචනය මගින් හඳුන්වනු ලබන්නේ කිරුළ දරන්නාගේ හෝ දරන්නියගේ ස්වාමිපුරුෂයා, භාර්යාව හෝ සහකරුවකු හෝ සහකාරියකි. තායිලන්තයේ සිදුකෙරුණේ රජුගේ නිල භාර්යාව වන (සුතිදා) රැජිනට අතිරේකව රජතුමා සඳහා “රාජකීය වල්ලභ කාන්තාවක්” පත්කර ගැනීමය. ඒ අනුව ඇය “රැජිනක්” නොවීය.

සීන්නීනාත්වල්ලභ කාන්තාවගේ තනතුරට පත්  අනතුරුව අග බිසව වන (සුතිදා) රැජිනට සමාන තත්ත්වයක් තමාටත් හිමිකර ගැනීමට උත්සාහ දරන ලද හෙයින් ඇයට දඬුවම් කිරීමට පියවර ගත් බව තායිලන්ත රජ මාලිගය පවසයි. වල්ලභ කාන්තාව විසින් සිදුකරන ලදැයි පැවසෙන වැරදි හැටියට රජ මාලිගය සඳහන් කරන කරුණුවලට වඩා වැඩි යමක් පැවතිය හැකිය යන්න ඇයගේ තත්ත්වය පහළ හෙලීම සම්බන්ධයෙන් අදහස් දක්වන ඇතැම් නිරීක්ෂකයන්ගේ අදහස වෙයි.

සීන්නීනාත්, පසුගිය ජූලි මාසයේ දී ඇය ලද ගරු පදවි සහ රාජ සභාව විසින් පිරිනමන ලද තනතුරු ආදියෙහි වඩාත් උත්කර්ෂවත් අවස්ථාව කරා ළඟාවුණේ සියවසකට අධික කාලයකට පසු පත් කෙරුණ (රාජකීය වල්ලභ කාන්තාව) බවට පත් වීමෙනි. තායිලන්ත රාජකීය ගැසට් පත්‍රයෙහි පළ කරනු ලැබ ඇති නිවේදනයක් අනුව “වැරදි හැසිරීම සහ රාජ්‍යත්වයට එරෙහිව අකීකරුව ක්‍රියාකිරීම” හේතුවෙන් සීන්නීනාත් විසින් මෙතෙක් දරන ලද පදවි සහ තනතුරු ආදිය ඇයගෙන් ඉවත් කරනු ලැබ ඇත. සීන්නීනාත් තනතුරු අභිලාෂයෙන් කටයුතු කර ඇති බවත්, රැජිනට සමාන තත්ත්වයක් ඇයටත් ආරෝපණය කර ගැනීමේ ප්‍රයත්නයක නිරතවෙමින් සිටි බවත් එම නිවේදනයේ දැක්වෙයි.