2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා

සඳ තරණයට අලුත් ඇඳුමක්!

 2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා, ප.ව. 12:30 54

නාසා ගගනගාමීන්ට මෙතෙක් කලකට තිබුණේ එකම ප්‍රමාණයේ ඇඳුමකි. ඉකුත් මාර්තු මාසයේදී ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ කාන්තාවන්ගෙන් පමණක් සමන්විත කණ්ඩායමක් මුල්වරට අභ්‍යවකාශයේ  ඇවිද යාම සුදුසු ප්‍රමාණයේ ඇඳුමක් නොමැති නිසා නතර කිරීමට සිදුවිය. ඇඟට හරියන ඇඳුමක් නොතිබුණේ ගගනගාමිනී ඈන් මැක්ලේන් හටය.

දැන් නාසා ආයතනය මේ වෙනුවට එකිනෙකාගේ ඇඟේ හැඩයට, තරමට සරිලන නම්‍යශීලි අලුත් ඇඳුමක් තනා හමාරය. හෙට අනිද්දා මුල්වරට අභ්‍යවකාශයේ ඇවිද යන්නට ඈන් මැක්ලේන් සහ සහායිකාවට මේ නිසා අවස්ථාව ලැබේ.

2024දි සඳ මත ගොඩබැසීමට සූදානම් කෙරෙන මීළඟ ගගනගාමීන්ට ඇඟලීම සඳහා නිර්මාණය කෙරුණු මෙම නව අභ්‍යවකාශ ඇඳුම් කට්ටලයේ මූලාකෘතිය, නාසා ආයතනයේ ප්‍රධානී ජිම් බ්‍රයිඩන්ස්ටයන් විසින් එළිදක්වනු ලැබීය.
මේ නව සඳ ඇඳුම (Moon suit) එය ඇඟලන ගගනගාමීන්ගේ ශරීර ප්‍රමාණයට සරිලන පරිදි සකස් කර ගැනීම සඳහා නිර්මාණය කර ඇත. මේ ඇඳුමේ විශේෂත්වය එහි ඇති  නම්‍යශීලීභාවයයි. මෙම ඇඳුමෙහි ඉණ ප්‍රදේශය ගගනගාමියාගේ ඉණෙහි ප්‍රමාණයට සකස් කර ගැනීම සදහා විශාල පරාසයක් තුළ අඩුවැඩි කළ හැකිය. මෙම ඇඳුම තුළ 100%ක් ඔක්සිජන් ක්‍රියාකාරීත්වයක් පවතින අතර ගගනගාමීන්ට ඔවුන්ගේ ශරීරයෙන් නයිට්‍රජන් පිට කිරීම සඳහා වෙනම කාලයක් ගත කිරීමට සිදු නොවේ. ඇඳුමේ ජීවිත ආධාරක පද්ධතිය ගගනගාමියාට පැය අටක පමණ කාලයක් වාතාශ්‍රය සැපයෙන අතර අමතර පැයක ආරක්ෂිත කාලයක් සැපයේ. නාසා ආයතනය මෙම ඇඳුම් කට්ටලය සඳ මත ඇවිදීමේදී පහසු සහ යෝග්‍ය ආකාරයට වැඩි දියුණු කර ඇති බව ස්ථීර කරයි.