2017 මාර්තු 11 වන සෙනසුරාදා

සෞදි රජු ඝාතනය වරදියි

 2017 මාර්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 218

පසුගිය මාසයේ මැලේසියාවට ගිය සෞදියේ රජු ඝාතනයට කළ කුමන්ත්‍රණයක් ගැන දැන් හෙළිදරව් වී තිබේ. පෙබරවාරි 26 රාජකීය අමුත්තා ක්වාලාලම්පූර් වෙත පැමිණියේය. නමුත් ඒ සංචාරය කිසිදු අවහිර බාධාවකින් තොරව සිදුවූයේය. එය එසේ වීමේ ගෞරවය හිමිවිය යුතුව ඇත්තේ මැලේසියාවේ ත්‍රස්ත මර්දන ඒකකයටය.

සෞදි රජු සුල්තාන් සල්මාන් බින් අබ්දුල් අසීස් දින හතරක රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් සඳහා මැලේසියාවට පැමිණියේය. එහිදී බෝම්බ රථ ප්‍රහාරයක් මගින් ඔහු ඝාතනයට සැලසුම් කළ හත්දෙනාගේ කල්ලිය කොටු කරගැනීමට ත්‍රස්ත මර්දන නිලධාරීහු සමත් වූහ. මේ ත්‍රස්ත ප්‍රහාරය සැලසුම් කළ මහ මොළකරු උපදෙස් දී ඇත්තේ රාජකීය පිරිස වෙත පුපුරණ ද්‍රව්‍ය සහිත වාහනවලින් ප්‍රහාරයක් එල්ලකර ඉන්පසු සිරියාවට පළාගොස් ISIS වෙත එක්වෙන ලෙසටය. අත්අඩංගුවට ගත් පිරිස අතර යේමන් ජාතික හතරක්, මැලේසියානුවන් දෙදෙනෙක් සහ එක් ඉන්දුනීසියානු ජාතිකයෙක්ද වෙති.

ආසියානු රටවල් සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සවිමත් කරගැනීමේ අභිලාෂයෙන් සෞදි රජතුමා දිර්ඝ සංචාරයක මේ දිනවල නිරතව සිටියි. ඔහු සමඟ 1500ක පිරිසක් පැමිණ සිටිති. රජකුමරුවන් 25ක් ඇමැතිවරැ 10ක් ඇතුළු මේ පිරිස ජෙට් යානා 9ක් සිය ගමනට යොදා ගනිති. ඉන්දුනීසියාවේදී සෞදි රජතුමාගේ ආරක්ෂාවට 2500ක ආරක්ෂක පිරිසක් යොදවා තිබුණි. මැලේසියාවේ ප්‍රථම ISIS ප්‍රහාරය සිදුවූයේ පසුගිය වසරේ ජූනි මාසයේදීය. එතැන් සිට එරට ත්‍රස්ත මර්දන නිලධාරීහු වඩාත් සූක්ෂම ලෙස ආරක්ෂා සංවිධාන සලසා තිබුණි.