2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා

ගාන්ධි සමරු මැඳුරේ අළු බඳුනත් අතුරුදන්!

 2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 61

‘ඉන්දියාවේ පියා’ හැටියට ගරුබුහුමන් ලබන මහත්මා ගාන්ධිගේ 150 වැනි ජන්ම සංවත්සරය පසුගිය සතියේ ඔක්තෝබර් 2 වැනිදා බදාදාට යෙදී තිබුණි. 1869 ඔක්තෝබර් 2 වැනිදා වයඹ දිග ඉන්දියාවේ රාජකීය රාජ්‍යයක් වන පොර්බන්දාර්හිදී මෝහන්දාස් කේ. ගාන්ධි උපත ලැබීය. ප්‍රභූ පැලැන්තියක පසුබිමක් ඔහුගේ පවුලට වූ අතර පියා එම රාජ්‍යයේ ප්‍රධාන අමාත්‍යවරයා විණි. පසුකලෙක ගාන්ධි ඇරඹූ අවිහිංසාවාදී විරෝධතාව ඉන්දියාව නිදහස කරා මෙහෙය වීය. අන්තිමේ ඉන්දියාවට 1947 දී නිදහස ලැබිණි. නමුත්, නිදහස ලබා මාස හයකට අඩු කාලයකදී, නගරයේ පැවති නැමදුම් රැස්වීමකට සහභාගීවීම සඳහා පියනගමින් සිටි ගාන්ධි උග්‍ර හින්දු මතවාදී තරුණයෙකුගේ වෙඩි පහරට ලක්විණි.

මුළු රටත් ලෝකයත් මහත් ගෞරවයෙන් මහත්මා ගාන්ධිගේ 150 වැනි ජන්ම සංවත්සරය සමරද්දී මේ ඝාතකයාගේ අවතාර නැවතත් ගාන්ධිට එරෙහිව ක්‍රියාත්මකව තිබේ. ඔහු අනුස්මරණ මන්දිරයේ තිබූ අළු බඳුනත් සොරා ගැනීමෙනි. එතැනින් නොනැවතී බාපූභවාන් මන්දිරයේ තිබූ ජායාරූපයක ද කොළ පැහැති තීන්තෙන් අපහාස වැකි ලියා තිබේ.

මධ්‍ය ප්‍රදේශ්හි රේවා නගරයේ ලක්ෂ්මන් භාග්හී බාපූභවාන් මන්දිරයේ ගාන්ධිගේ අළු 1948 සිට ගෞරව පිණිස තැන්පත් කර තිබුණි. මෙදා ජන්ම සංවත්සරය දා සුපුරුදු පරිදි   ගෞරව ප්‍රණාමයට එන පිරිස වෙනුවෙන් එහි බාරකරු දොරටු හැරදා ඇත. පසුව දක්නට ලැබුණේ අළුබඳුන අතුරුදන්ව ඇති අයුරු සහ ගාන්ධි රූපයේ “ද්‍රෝහියා” යනුවෙන් අපහාස වැකි ලියා ඇති අයුරුය. දිස්ත්‍රික්කයේ කොංග්‍රස් ප්‍රධානී ගුර්මීත් සිං මේ සම්බන්ධව  ප්‍රාදේශීය පොලීසියට පැමිණිලි කර තිබේ. මන්දිරය සහ අවට සී.සී.ටී.වී. කැමරා පිරික්සමින් පොලීසිය මේ වනවිටත් දැඩි හෝදිසියක් අරඹා හමාරය.  

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00