2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා

පාකිස්තානය දෙදරා යයි!

 2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30 187

පාකිස්තානය යටතේ පාලනය වන ජම්මු කාශ්මීරයේ සිදු වූ රිච්ටර් පරිමාණය ඒකක 5.8ක් ලෙස සටහන් වූ භූ කම්පනයෙන් වැඩි බලපෑම් එල්ල වුණේ පාකිස්තානය යටතේ පාලනය වන කාශ්මීරයටයි. කාශ්මීරයේ මීර්පුර් නගරය ආසන්නයේ භූ කම්පනයේ අපිකේන්ද්‍රය සටහන්ව තිබුණි. ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයකටත් භූ කම්පනයෙන් බලපෑම් එල්ල වී ඇත. භූ කම්පනයෙන් අනතුරුව හටගත් පසුකම්පන, ඉන්දියාවේ නවදිල්ලි හා පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනගරවලටද දැනී තිබුණි.

පත්‍රය මුද්‍රණයට යන අවස්ථාව වනවිට වාර්තාවූයේ භූ කම්පනයෙන් මියගිය පුද්ගලයන් ගණන තිස් හත් දෙනෙක් දක්වා ඉහළ ගොස් ඇති බවය. තුවාල ලැබූ පිරිස 450 ඉක්මවා තිබිණි. ඒ අතර දරුවන්ද වෙති. මෙයින් ප්‍රදේශයේ නිවාස ඇතුළු ගොඩනැඟිලි රැසකට හානි සිදුවිය. එමෙන්ම ඉන් මහාමාර්ග පද්ධතියටත් දැඩි ලෙස අලාභ හානි වූ අතර භූ කම්පනය නිසා මාර්ගවල ඇතිවූ පැලීම් තුළට වාහන ඇද වැටීමෙන් රථවාහන රැසක්ද විනාශ විය.

2005 වර්ෂයේදීද මෙම ප්‍රදේශය ආශ්‍රිතව හටගත් ප්‍රබල භූමිකම්පාවකින් පුද්ගලයන් දහස් ගණනක් මිය ගියේය. කෙසේ නමුත් මෙම ව්‍යසනයෙන් සිදුවූ සම්පූර්ණ හානිය තවමත් නිශ්චිතව ගණන් බලා නැත. සිදුවීමෙන් මියගිය පුද්ගලයන්ගේ අවසන් කටයුතු සිදු කෙරුණු අවස්ථාවට බොහෝ පිරිසක් සහභාගී වූහ. භූ කම්පනයත් සමඟ කඩාවැටුණු ගොඩනැගිලි තුළ පුද්ගලයන් සිරවී සිටීදැයි සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකය. එමෙන්ම විපතට පත් පුද්ගලයන් වෙත සහන සේවා සැපයීමේ විශේෂ මෙහෙයුමක් බලධාරීන් විසින් හමුදා ආධාරද ලබාගෙන ආරම්භ කර තිබුණි.