2019 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා

පිටසක්වලින් අලුත් අමුත්තෙක්!

 2019 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 12:30 212

හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ සුළු ග්‍රහ තාරකා මධ්‍යස්ථානය (MPC) පෘථිවිය වෙත එන අලුත් පිටසක්වල අමුත්තෙක් ගැන එළිදරව් කළේය. මේ සොයාගැනීම සම්බන්ධයෙන් නිල නිවේදනයක් ද නිකුත් කර ඇත. ආධුනික තාරකා විද්‍යාඥයෙක් විසින් සොයා ගැනීමට සමත් වූ එය සෞරග්‍රහ මණ්ඩලයෙන් බැහැර සිට ඇදී එන ධූමකේතුවකි (වල්ගා තරුවකි). ආධුනික තාරකා නිරීක්ෂකයකු වන ගෙනාදි බොරිසොෆ් විසින් මේ ග්‍රහ වස්තුව නිරීක්ෂණය කරනු ලැබුවේ පසුගිය මස (අගෝස්තු) 30 වැනිදා ක්‍රිමියානු තාරකා භෞතික විද්‍යා නිරීක්ෂණාගාරයේදීය.

2017 වසරේදී හඳුනා ගන්නා ලද (ඔවුමුවාමුවා) (Oumuamua) ලෙසින් නම් කරන ලද දිගැටි හැඩයෙන් යුතු ග්‍රහ වස්තුවට පසුව සෞරග්‍රහ මණ්ඩලයට බැහැරින් ඇදී එන දෙවැනි ග්‍රහ වස්තුව මෙයයි. මෙහි පෙනෙන්නට ඇතැයි සැලකෙන (බහුවලයික) (hyperbolic) කක්ෂයක ස්වභාවය හේතුවෙන් එය වෙනත් ග්‍රහ පද්ධතියකින් පැමිණෙන්නක් බව අනුමාන කෙරේ. බහුවලයික කක්ෂයක් යනු, පූර්ණ වෘත්තයකට වඩා සැලකිය යුතු ලෙස පැත්තකට ඇදී ගිය ස්වභාවයක් සහිත වෙනත් හැඩයක් ගන්නා විකේන්ද්‍රිකතාවකින් යුක්ත වූවකි. පූර්ණ වෘත්තයක විකේන්ද්‍රිකතාව 0 කි. බොහෝ ග්‍රහලෝක, ග්‍රාහක හා ධූමකේතුවල ඉලිප්සාකාර කක්ෂවල (elliptical orbits) දක්නට ඇති විකේන්ද්‍රිකතාව 0 සහ 1 අතර වේ. නිරීක්ෂණවලට අනුව අලුත් පිටසක්වල අමුත්තාගේ 3.2ක විකේන්ද්‍රිකතාවක් ඇතැයි කියැවේ.

මේ සොයාගැනීම කෙරෙන කල එය සූර්යයාගේ සිට නක්ෂත්‍ර ඒකක තුනක් (කිලෝමීටර මිලියන 450ක් පමණ) දුරින් පිහිටියේය. 2017 ඔක්තෝබර් 19 වැනිදා සොයා ගත් (ඔවුමුවාමුවා), එහි බහුවලයික පරාවක්‍රය පදනම් කරගෙන මුලදී නිර්ණය කෙරුණේ ධූමකේතුවක් ලෙසිනි. එහෙත්, තවදුරටත් කරන ලද නිරීක්ෂණවලදී පෙනෙන්නට වූයේ ධූමකේතුවක න්‍යෂ්ටිය වටා ඇති කෝමාව නමින් හැඳින්වෙන ආවරණයේ ලකුණක් හෝ දක්නට නැති බවය. ඒ අතින් ගත් විට, කෝමාව හා වලිගය පෙනෙන්නට ඇති C/2019 Q4 (Borisov) ක්‍රියාකාරී ධූමකේතුවකි. කුඩා එමෙන්ම අපැහැදිලි (ඔවුමුවාමුවා) සමඟ සැසඳීමේදී අලුත් ග්‍රහ වස්තුව ඉතා විශාල වන අතර (කිලෝමීටර 20ක් පමණ පළලින් යුතුය) දීප්තියෙන් වැඩිය. මීට අමතරව (ඔවුමුවාමුවා) නිරීක්ෂණය කරනු ලැබුවේ සූර්යයාට සමීපම ස්ථානය (perihelion - සූර්ය සමීපක) පසු කිරීමෙන් අනතුරැවය. ඒ අනුව, එය තාරකා විද්‍යාඥයන්ට අදාළ ග්‍රහ වස්තුව සම්බන්ධයෙන් තිබූ ප්‍රශ්නවලට විසඳුම් සොයා ගැනීමට තරම් සමීපව එය දැකගැනීමට ප්‍රමාණවත් නොවිණි. මේ අතර, C/2019 Q4 (Borisov) ග්‍රහ වස්තුව තවමත් අපගේ සෞරග්‍රහ මණ්ඩලය කරා ඇදී එමින් පවතින අතර දෙසැම්බර් 10 වැනිදා වන තෙක් සූර්ය සමීපක දුරට ළඟා නොවනු ඇත.

 

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00