2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා

වියරු වැටුණු දේශගුණයෙන් ලක්ෂ 70කට උන්හිටිතැන් නෑ!

 2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 174

ලෝක දේශගුණය මේ වනවිට ඇත්තේ වියරු වැටිලාය. මේ වනවිට සුළි කුණාටු, නායයෑම්, ගංවතුර, භූ කම්පන ආදී ස්වභාවික හේතු නිසා උන්හිටි තැන් අහිමිව ගිය පිරිස යුදගැටුම් සහ අපරාධ ආදිය නිසා ඒ තත්ත්වයට පත්වූ පිරිස මෙන් දෙගුණයකි. ඒ අනුව මේ වසරේ මුල් මාස 06ක කාලයේ මිලියන 7කට උන්හිටි තැන් අහිමිව ගොසිනි. 2019 යනු 2003 වසරින් පසු ආ ස්වභාවික විපත් අධිකතම වසර හැටියට සඳහන්ය. මේ යන අන්දමට වසර අග වනවිට ස්වභාවික හේතු නිසා උන්හිටි තැන් අහිමිව ගිය පිරිස ලක්ෂ 220ක් වනු ඇතැයි නිරීක්ෂණ මධ්‍යස්ථාන වාර්තා අනතුරු අඟවයි.

ඉන්දියාව සහ බංග්ලාදේශයට මැයි මාසයේ  බලපෑ ෆොනී සුළි කුණාටුව නිසා ලක්ෂ 34ක් අවදානම් කලාපවලින් ඉවත් කරන්නට සිදුවිය. මොසැම්බික්, මලාවි, සිම්බාබ්වේ සහ මැඩගස්කරය කලාපයේ ලක්ෂ 6කට වැඩි පිරිසක් අවතැන්ව ගියහ. දශක ගණනාවකට පසු ඉරානයට බලපෑ ගංවතුර ලක්ෂ 05ක් අවතැන් කර තිබුණි.

ඒ සඳහා වූ ළඟම නිදසුන ඩෝරියන් චණ්ඩ මාරුතයයි. ඉකුත් පළමුවනදා සිට බහමාස් දිවයිනට ඇතුළු වී ඇති ඩෝරියන් චණ්ඩ මාරැතය හේතුවෙන් පුද්ගලයන් 50කට පමණ දිවි අහිමිව තිබේ. ඉන් තවත් බොහෝ පිරිසක් තුවාල ලැබූ අතර නිවාස රථවාහන ඇතුළු දේපල රැසක්ද විනාශ වී ඇත. බහමාස් රාජ්‍යයට බලපෑ මෙම ප්‍රචණ්ඩ ඩෝරියන් සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයන් දෙදහස් පන්සීයක් තවමත් අතුරැදන්ය. එමෙන්ම තවත් දහස් ගණනක පිරිසක් අවතැන්ව සිටිති.

කැරිබියන් හදිසි ආපදා කළමනාකරණ කාර්යාංශය පවසන අන්දමට පුද්ගලයන් පහළොස් දහසකට පමණ ආහාර හා වාසස්ථාන අවශ්‍ය වී තිබේ. අවතැන් පුද්ගලයන් සඳහා විශාල කූඩාරම් ඉදිකිරීමේ කටයුතු බහමාස් බලධාරීන් මේ වනවිටත් ආරම්භ කර ඇති බව සඳහන්. මේ අතර ආපදාවෙන් බහමාස් හි සිදුවූ දේපල හානිය අමෙරිකානු ඩොලර් බිලියන තුන ඉක්මවන බවට බලධාරීන් ගණන් බලා තිබේ. මේ සියලු විනාශ සඳහා වගකිව යුතුව ඇත්තේ මිනිසාමය. ඉවක් බවක් නැති පරිසර විනාශය මේ විකෘති දේශගුණයට හේතුවයි.

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00