2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා

බොරිස් ජොන්සන් දිගටම පරාදයි!

 2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 242

නියමිත කාලයට පෙර මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඉදිරිපත් කළ යෝජනාවද බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කර තිබේ. ඔහු එම යෝජනාවෙන් ඉල්ලා සිටියේ ඔක්තෝබර් 15 වැනිදා මහ මැතිවරණයක් පැවැත්විය යුතු බවයි. කොන්දේසිවලින් තොරව බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු බවට අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ නව බ්‍රෙක්සීට් යෝජනාවද, වැඩි ජන්ද 27 කින් පරාජයට පත් විය. 328 ට 301 ක් වශයෙන් වැඩි ඡන්ද 27 ක් ලබාගත් විපක්ෂය සහ කොන්සර්වේටිව් පක්ෂයේ කැරලිකාර මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය පාලනය කිරීමේ බලය ලබාගත්හ. එමගින් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වන දිනය ප්‍රමාද කර ගැනීම සඳහා නව පනතක් ගෙන ඒමට ඔවුන්ට අවස්ථාවක් ලැබෙනු ඇත.

බ්‍රිතාන්‍යය ගිවිසුමකින් තොරව, යුරෝපා සංගමයෙන් ඉවත්වීමට සැලසුම් කර තිබුණේ ලබන මස 31 වැනිදායි. මේ අනුව එම දිනය ලබන ජනවාරි 31 වැනිදා තෙක් ප්‍රමාද කිරීමට අදාළ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට දැන් සිදුව ඇත. යුරෝපා සංගමයෙන් ඉවත්වීම 2020 ජනවාරි 31 වැනිදා දක්වා ප්‍රමාද කරන ලෙස බ්‍රිතාන්‍ය ආණ්ඩුව යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටින මෙන් එම පනත මගින් ආණ්ඩුවට යෝජනා කෙරේ.

යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ පනත් කෙටුම්පත පරාජයට පත්වීමෙන් අනතුරුව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ විසඳුමකට ඇති එකම මාර්ගය මහ මැතිවරණයක් බවයි. ගිවිසුමකින් තොරව බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් නොවිය යුතු බව, කම්කරු පක්ෂනායක ජෙරමි කෝබින් ප්‍රමුඛ විපක්ෂ මන්ත්‍රීවරැන් සඳහන් කළේ, එම මහ මැතිවරණ යෝජනාවද ප්‍රතික්ෂේප කරමිනි.