2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා

රොබර්ට් මුගාබේ දිවි ගමනින් සමුගනියි!

 2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 114

ලොව වයස්ගතම රාජ්‍ය නායකයකු වන සිම්බාබ්වේ හිටපු ජනාධිපති රොබර්ට් මුගාබේ සිංගප්පුරුවේදී මිය ගියේය.
1980 සිට දශක හතරක් එරට පාලනය කළ ඔහු 2017දී හමුදා මෙහෙයුමක් මගින් බලයෙන් පහ කැරිණි. පසුගිය නොවැම්බරයෙන් පසු රෝගාතුරව ඇවිදීමේ අපහසුතාවයකින්ද පෙලුන මුගාබේ අප්‍රේල් සිට ප්‍රතිකාර ලැබූ බව වාර්තා විය. මියයන විට වයස 95ක් වූ ඔහු අසල බිරිය ග්‍රේස් සහ පවුලේ උදවියද වූහ.

විප්ලවවාදියකු ලෙස සරසවි සිසුවකු කාලයේම ජාතික අරගලයට පණදුන් මුගාබේ සිය පාලනයේ මුල්කාලයේදී රටට ජනතාවට හිතැති නායකයකු ලෙස ජනාදරය දිනාගත් තැනැත්තෙකි. අධ්‍යාපනයට ලැදි ඔහු රටේ අධ්‍යාපනය ඉහළ නැංවූයේ, මුළු අප‍්‍රිකාවෙන්ම සාක්ෂරතාවයෙන් සියයට 98ක් පමණ ඉහළ තැනකට සිය රට රැගෙන එමිනි. ඔහු රොකට් වේගයෙන් ඉහළ නැගි නායකයෙකි. බලය බලහත්කාරයෙන් ඩැහැගත් නායකයෙකි. නමුත් අන්තිමට ඔහුටම සිය වේගය පාලනය කරගන්නට නොහැකි විය. ඔහුගේ ඇදවැටීමත් සමඟ මුගාබේ ගැන මෙතෙක් වාර්තා නොවූ අපූරු කතා ගොන්නක් එළියට විත් තිබේ.

මුගාබේ 1970 සිට මෙහෙය වූ ගරිල්ලා සටන් නිසා එවකට සුදු පාලකයන් යටතේ තිබූ රොඩේෂියාව නමැති මේ අප‍්‍රිකානු රාජ්ජයට නිදහස හිමි වූයේය. රටේ නිදහස ලැබීම සඳහා වූ මේ ව්‍යාපාරය හැඳින්වූයේ “පෙබරවාරි 21 ව්‍යාපාරය” ලෙසිනි. පෙබරවාරි 21 යනු මුගාබේගේ උපන් දිනයයි. 1985දී නිදහස ලබා සිම්බාබ්වේ ලෙස නැවත උපත ලද රොඩේෂියා රටේ ප‍්‍රථම සහ වසර 36ක් පුරා එකදිගටම සිටි එකම ජනාධිපතිවරයා වූයේ මුගාබේය. 1986 සිට ඔහු සිය උපන් දින සමරුව ජාතික උත්සවයක් ලෙස පවත්වන්නට කටයුතු කර තිබේ.

අකාලයේ මියගිය ලී වඩුවකුගේ පුතෙකු වූ මුගාබේගේ පෞරුෂය ගොඩනැගුණේ ගුරුවරියක වූ සිය මවගේ බලපෑම යටතේය. මේ නිසා මුගාබේ අධ්‍යාපනයට ඉහළ ලැදියාවක් දැක්වූවෙකි. කෙතරම් ලැදියාවක් දැක්වූවාදයත් ඔහු වසර දහයකට හිරේ වැටුණු කළ නීති උපාධි දෙකක්ම ලබා ගත්තේය. ඔහු සතු සම්පූර්ණ උපාධි ගණන 6කි. මේ හැර ඔහුට ලැබුණු ගෞරව උපාධිත් සමග සම්පූර්ණ උපාධි 13කට මුගාබේ හිමිකම් කියයි. මුගාබේට එංගලන්ත මහරුජණගෙන් නයිට් පදවියක්ද පිරිනැමිණි. නමුත් රටේ බල අරගලයක් සිදුවූ 2008 කාලය තුළ සිදුවූවාය කියන 20,000ක මනුෂ්‍ය ඝාතන හේතුවෙන් පසුව එම පදවිය ඔහුගෙන් ඉවත්කරන ලදී. මුගාබේ හට නොබෙල් ත්‍යාගය අහිමි වූයේද මේ කියන මනුෂ්‍ය ඝාතන, මානව හිමිකම් කඩකිරීම් පිළිබඳ චෝදනා හේතුවෙනි.

මුගාබේ සුද්දන්ට වෛර කළ නියම කළු ජාතිකවාදියෙකි. සුද්දන් සිය රටෙන් එලවා දමා ඔවුන් සතු ව්‍යාපාර සම්පත් පවරා ගැනීමට ඔහු ක‍්‍රියාකර තිබුණි. දැන් එළිදරව් වන අන්දමට ඔහු පසුකාලීනව ප‍්‍රකෝටිපතියකු බවට පත්ව ඇත්තේ මේ ව්‍යාපාර සිය හිතවතුන්ට පවරා ලබාගත් සන්තෝසම් වලිනි.