2019 අගෝස්තු 24 වන සෙනසුරාදා

ලෝකයේ පෙණහැල්ල අළුවෙයි!

 2019 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 12:30 392

ලංකාව තරම් 85ස් ගුණයක් විශාල මහා ඇමේසන් වනබිමේ විශාල කොටසක් මේ වනවිට මහා ගිනි ජාලාවකින් වැසී ගොසිනි. සති  3කටත් වැඩි කාලයක සිට ඇවිල යන ගින්න චන්ද්‍රිකා මගින් නිරීක්ෂණයට ලක්කළ විට පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ පමණක් ස්ථාන 9500ක අහස උසට නැගෙන ගිනිජාලා නිරීක්ෂණය වී තිබුණි. අධිකතම ජලවාෂ්ප සාන්ද්‍රණයක් සහිත නිසා සාමාන්‍යයෙන් ගිනි නොගන්නා වනාන්තර ගණයට අයත් වුවද 2013 වසරේ සිට මේ මහා වන ගහණයට ගින්නෙන් අපලය. මේ වසරේ ජනවාරියේ සිට මේ වනවිට 74000කට වැඩි වතාවක් වනාන්තරය ගිනි දෙවියාට බිලිව තිබේ. එය 2018 වසරේ එම කාලසීමාවේම සිදුවූ ගිනි ගැනීම්වලට වඩා සියයට 84ක ඉහළ ප්‍රමාණයකි. 

අපේ ලෝකය ජීවියෙකුට සමාන කළහොත් ඒ යෝධ ජීවියාගේ පෙනහැල්ල හැටියට කටයුතු කරන්නේ මහා ඇමේසන් වනාන්තරයි. ඇත්තටම ලෝකයේ ඔක්සිජන් අවශ්‍යතාවයෙන් සියයට20ක්ම තනිවම ලබා දෙන්නේ මේ යෝධ ඇමේසන් වනබිමයි. 

මිහිමත දැනට ඉතිරිව ඇති, ලෝකාරම්භයේ සිට පැවත එන ඉපැරැණිතම සහ විශාලත්වයෙන් මුල්තැන ගන්නා ඝර්ම කලාපයට අයත් ස්වභාවික මහා වැසි වනාන්තරය වන්නේ ඇමේසන් වනගහණයයි. එහි විශාලත්වය වර්ග කිලෝමීටර් ලක්ෂ 55කි. අපට තේරෙන බාසාවෙන් කීවහොත් ඇමේසන් වනාන්තරය ලංකාව තරම්  85 ගුණයක් විශාලය. එය කොංගෝ වනාන්තරය මෙන් 16 ගුණයක් විශාලය. ඇමේසන්  වනගහනය  තුළින් ශාඛ 40 000කට වැඩි ප්‍රමාණයක් මේ වනවිට සොයාගෙන තිබේ. කිරිබොන සතුන් 430ක්ද, කුරුලු විශේෂ 1300ක්ද, මාලු විශේෂ 3000ක්ද, කිරි බී වැඩෙන සතුන් විශේෂ 430ක්ද, ගෙම්බන් මැඩියන් බඳු උභයචාරී ජීවින් විශේෂ 400කට වැඩි ප්‍රමාණයක් මෙන්ම ඇනකොණ්ඩා වැනි උරග විශේෂ 378ක්ද මේ වනවිට සොයාගන්නට හැකිව තිබේ. ඒ සියල්ලටම වඩා අසිරිමත් කාරණය වන්නේ සමනළයන්ද ඇතුළත් කෘමී සතුන් පමණක් ලක්ෂ 25ක් වාර්තාවීමය. ඇමේසන් වනගහණය පිහිටා ඇත්තේ ලොව දිගම ගංගාව වන කිලෝමීටර 6,650 දිග නයිල් ගඟට පමණක් දෙවැනි වන එබැවින් කිලෝමීටර 6400ක් දිගට පැතිරුණු ඇමේසන් මහා නදිය මැදි කරගෙනය. එම නදිය, මේ මහ වනයේ උතුරට බරව ගලා යන්නේ රට රාජ්‍ජ 9ක් තරණය කරමිනි. මේ නිසාම ඇමේසන් වනාන්තරයද මේ රටරාජ්ජ 9 පුරා විසිර පැතිර පවතියි. බ්‍රසීලය ප්‍රමුඛව බොලිවියාව, පේරු, ඉක්වදෝරය, කොලොම්බියාව, වෙනිසුවෙලාව, ගයානා, සූරිනාම් මෙන්ම ප්‍රංශ ගයානාවද මේ මහා වනබිමට සම අයිතිය කියති. දැන් මේ ගින්නට ගොදුරුව ඇත්තේ බ්‍රසීල සීමාවට අයත් වන බිමෙහිය. මෙම මහා ගින්නට නිශ්චිත  හේතුවක් තාමත් හෙළි වී නැත. සත්ත්ව පාලනය අනවසර වගාබිම් සහ පදිංචිය මෙන්ම  තෙල් සහ ලෝහ සඳහා වන කැණීම්ද වන විනාශය කැඳවන හේතුය. මේ මිනිසුන්ගේ නොසැලකිලිමත් බවින් හෝ හිතාමතා කරන ගිනිතැබීම් මගින් බොහෝවිට වන ගිනි හටගන්නා බව සංරක්ෂකයෝ පෙන්වා දෙති. මෙවර ගින්නද එබදු ආරම්භයකින් යුතු යැයි සැක පහළ වී තිබේ.

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00