2019 අගෝස්තු 10 වන සෙනසුරාදා

ගිනිගත් කාශ්මීරයට නව මැතිවරණයක්!

 2019 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 137

ඉන්දීය ජම්මු කාශ්මීරයේ නොසන්සුන්තාවය මේ වනවට තවදුරටත් උත්සන්න වී තිබේ. මෙහ්බූබා මුෆ්ටි, ඕමාර් අබ්දුල්ලා සහ සජාද් ලෝන් යන ප්‍රාන්තයේ ප්‍රධාන දේශපාලනඥයන් නිවාස අඩස්සියේ තැබීමටත් තවත් දේශපාලන ප්‍රධානින්  පොලිස් ලොක්කන් බෙදුම්වාදි අරගලකරුවන් ඇතුළු 300කට අධික පිරිසක් අත්අඩංගුවට ගැනීමටත් ඉන්දීය බලධාරීන් පියවර ගැනීමෙන් පසුවය.

මේ වනවිට ප්‍රාන්තයේ ජංගම දුරකථන ඔස්සේ අන්තර්ජාල සේවා භාවිතය අවහිර කර ඇති අතර සන්නිවේදන කටයුතු නොමැතිවීමෙන් එය සෙසු ලෝකයෙන් හුදකලා වී ඇත ගැටුම් අරගල වැළැක්වීම සඳහා ප්‍රසිද්ධ හමුවීම් සහ රැළි පැවැත්වීම ද තහනම් කර තිබේ. ප්‍රාන්තයේ සියලුම පාසල් සහ උසස් විද්‍යාල මෙන්ම විවිධ අධ්‍යාපනික ස්ථාන ද වසා දැමූ බලධාරීන් සිසුන්ට නේවාසිකාගාරවලින් වහාම ඉවත්වන ලෙස දන්වා ඇත. බැතිමතුන් සහ සංචාරකයන්ට කඩිනමින් කාශ්මීරයෙන් පිටවන ලෙස පවසමින් ප්‍රාන්තයේ ආරක්ෂාව තර කිරීමට ඉන්දීය බලධාරීන් පියවරගෙන තිබේ. කාශ්මීර වැසියන්ට රජයේ රැකියා සහ ඉඩම් ලබාදෙන ඉන්දීය ව්‍යවස්ථාවේ ඇතුළත් 35 ඒ වගන්තියත්, ජම්මු කාශ්මීර ප්‍රාන්තයට ස්වාධීන පාලනයක් ලබාදෙන 370 වගන්තියත් සංශෝධනය කිරීමට මධ්‍යම රජය තීරණයක්  ගැනීමෙන් පසු මෙම තත්ත්වය හටගෙන ඇත. ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 370 වන වගන්තිය මගින් මුස්ලිම් බහුතරයක් වෙසෙන ජම්මු - කාශ්මීර ප්‍රාන්තයට සුවිශේෂී ස්වයං පාලන බලයක් දී තිබිණි. ඉන්දියාව සහ ඉන්දීය පාලිත කාශ්මීරය අතර පවතින සම්බන්ධය අර්ථ නිරූපණය කරනු ලැබුණේ ද අදාළ වගන්තිය මගිනි. අදාළ නීති ප්‍රතිපාදනය ව්‍යවස්ථාවෙන් ඉවත් කරන බවට පාලක භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරන අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි 2019 මහමැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අතරතුර ප්‍රතිඥා දී තිබිණි. 370 වෙනි වගන්තිය මගින් ඉන්දීය පාලිත ජම්මු කාශ්මීරයට තමන්ගේම ව්‍යවස්ථාවක්, ධජයක් දරාගැනීමේ හැකියාව මෙන්ම විදේශ සබඳතා, ආරක්ෂාව සහ සන්නිවේදන කටයුතු හැර සෙසු සියලුම අංශ සම්බන්ධයෙන් ස්වාධීන බලතල ලබා දී තිබිණි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් කාශ්මීරයට දී තිබුණ විශේෂ බලතල ඉන්දීය ආණ්ඩුව විසින් අහෝසි කරන බව නිවේදනය කිරීමත් සමඟ ඒ සම්බන්ධයෙන් එරට පාර්ලිමේන්තුව තුළත් කෝපය පළ විය.

මේ අතර ඉකුත් බ්‍රහස්පතින්දා අගමැති මෝදි ජාතිය ඇමතුවේය. ජම්මු කාශ්මීරයට නව පාලකයන් තෝරා පත් කර ගැනීම වෙනුවෙන් මැතිවරණයක් පවත්වන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි  සඳහන් කළේ එලෙස ජාතිය අමතමිනි. විනාඩි 38ක කාලයක් ජාතිය ඇමතූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජම්මු කාශ්මීරයේ ජන ජීවිත කඩිනමින් යථා තත්ත්වයට පත් කරන බවට ද සහතික විය.

“ජම්මු කාශ්මීරයේ ජනතාවට අපි ත්‍රස්තවාදය හෝ බෙදුම්වාදය දුන්නේ නැහැ. බිලියනයක ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන ඉන්දීය නීති පද්ධතියෙන් දැන් ඔවුන්ටත් ප්‍රතිලාභ ගන්න පුළුවන්. කාශ්මීරයේ දරුවන් අධ්‍යාපනයේ ප්‍රතිලාභ ලබා තිබුණේ නැහැ. රජයක් විදිහට අපි ගත්තේ ඓතිහාසික තීන්දුවක්. මින් ඉදිරියට ජම්මු කාශ්මීරයේ ජනතාවගේ ජීවිතවල ධනාත්මක වෙනසක් ඇති වේවි. අපේ තීරණයට ඇතැම් පාර්ශව විරැද්ධයි. මා ඊට ගරු කරනවා. එය ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. නමුත් ජාතියේ යහපත වෙනුවෙන් රජයට උදව් කරන ලෙස මා ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා. මෙය සියලු පුරවැසියන්ට සමාන අයිතීන් ඇති නව යුගයක ආරම්භයක්.”ලෙස ඔහු සිය කතාවේදී සදහන් කරතිබුණී. ඒ අනුව එම ප්‍රාන්ත වැසියන්ට සිය ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය භාවිත කරමින් ප්‍රධාන අමාත්‍යවරයෙකු ඇතුළු නව පාලකයන් පිරිසක් පත් කර ගැනීමට අවස්ථාව සැලසෙනු ඇත. කෙසේ නමුත් ලඩාක් කලාපය මධ්‍යම රජය යටතේ පවතින වෙනම පාලන ඒකකයක් ලෙසටම පවතිනු ඇති බවද ඔහු පැවසුවේය. නව පාලන ක්‍රමය යටතේ ජම්මු කාශ්මීරයේ සංවර්ධන කටයුතු රැසක් සමඟ එහි සියලුම වැසියන්ට සිය අයිතීන් හිමිවන බවත් අගමැතිවරයාගේ ප්‍රකාශයේ සඳහන්වේ.

ජම්මු - කාශ්මීරය පාලන ඒකක දෙකකට වෙන් කිරීම සම්බන්ධයෙන් පාකිස්තානය  සිටින්නේ අමනාපයෙනි. ලාහෝර් - දිල්ලි දුම්රිය ගමන් නැවතිනි. වෙළද ගනුදෙනු අත්හරින බව පලවිය. හින්දි සිනමා නාට්‍ය ගීත තහනම් විය. මේ අතර දැන්  රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සීමා කිරීම හා වෙළඳ සබඳතා අත්හිටුවීමට ගත් තීරණය සම්බන්ධයෙන් යළි සලකා බලන්නැයි ඉන්දියාව පාකිස්තානයෙන් ඉල්ලීමක් කර ඇත.

මේ අතර කාශ්මීර අර්බුදය දෙරට අතර හමුදා ගැටුමක් දක්වා දුරදිග යනු ඇතැයි ලෝකය පුරා පැතිර ඇති සැක සංකා සම්බන්ධයෙන් පාකිස්තාන විදේශ ඇමති ෂා මොහොමඩ් කුරේෂි අදහස් දක්වා ඇත. අදාළ ගැටලුවට තමන් හමුදා විසඳුමක් කිසිවිටකත් අපේක්ෂා නොකරන බව විදේශ අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

ඉන්දියාව සහ පාකිස්තානය අතර හිමාලය අඩවියේ පිහිටි කාශ්මීරය සම්බන්ධයෙන් දෙරටම හිමිකම් කියන අතර, එමගින් මතභේදයකට තුඩු දී ඇති එම භූමිය කොටස් දෙකකට බෙදනු ලැබ එම දෙරට විසින් පාලනය කරනු ලැබේ. කාශ්මීරය බෙදා පාලනය කරනු ලැබීමේ ආරම්භයේ පටන්ම ඉන්දීය පාලිත කාශ්මීරය තුළ දිගින් දිගටම පවතින බෙදුම්වාදී කැරලි හමුවේ දශක තුනකට අධික කාලයක් තුළ දහස් ගණනක් මරණයට පත්ව ඇත. කාශ්මීර් කැරලිකරුවන්ට සහාය දෙන බවට ඉන්දීය බලධාරීන් පාකිස්ථානයට චෝදනා කරන අතර, ඉස්ලාමාබාද් පාලනය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි. ස්වයං නිර්ණ අයිතිය ඉල්ලා සිටින කාශ්මීරවාසීන්ට අවශ්‍ය චිත්ත ධෛර්යය සහ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් සහයෝගය දැක්වීමක් පමණක් තමන් සිදු කරන බව පාකිස්තානය පවසයි.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00