2019 අගෝස්තු 10 වන සෙනසුරාදා

ඉන්දියාවේ හිටපු විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් අභාවප්‍රාප්ත වෙයි

 2019 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 68

ඉන්දීය දේශපාලනයේ කීර්තිමත් පරිච්ඡේදයක් අවසන් කරමින් එරට හිටපු විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් මහත්මිය අභවප්‍රාප්ත වූවාය. මියයන විට ඇය 67වැනි වියේ පසුවූවාය. හර්යානා ප්‍රාන්තය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ලාබාලම කැබිනට් අමාත්‍යවරියද වූ සුෂ්මා ස්වරාජ්, දිල්ලියේ 5 වැනි මහ ඇමතිවරිය ලෙසත් කටයුතු කළාය. 2014 වර්ෂයේ සිට මේ වසරේ මැයි මස දක්වා ඉන්දීය විදේශ ඇමතිනිය ලෙස සුෂ්මා ස්වරාජ් මහත්මිය කටයුතු කළාය. ඇය ඉන්දිරා ගාන්ධීගෙන් පසු එරට බිහිවු කෘතහස්ත රාජ්‍යතාන්ත්‍රිකාව ලෙස පිළිගනියි. 1977 වර්ෂයේ දේශපාලනයට පිවිසි ස්වරාජ් මහත්මිය ඉන්දීය රජයන්වල තනතුරැ රුසක්ම හොබවා තිබේ.

හදිසියේ හටගත් හෘදයාබාධයක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් අනතුරුව සුෂ්මා ස්වරාජ් මහත්මිය මියගොස් ඇති බව වාර්තාවල දැක්වෙයි. 2016 වර්ෂයේදී වකුගඩු බද්ධ කිරීමේ සැත්කමකට බඳුන්වූ ඇය අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ඉකුත් අප්‍රේල් මස පැවති ඉන්දීය මහමැතිවරණයට ඉදිරිපත්වූයේ ද නැත. ඉන්දියාවේ කෘතහස්ත දේශපාලනඥවරියක් මෙන්ම හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරියකද වන සුෂ්මා ස්වරාජ් භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායිකාවකි.ඇයට මෙවර මැතිවරණය සදහා අවස්තාව නොලැබුන අතර ඇය ඉන්පසු පක්ෂයෙන්ද ඉවත්ව ගියාය. 

ඇයගේ හදිසි වියෝව පිළිබඳව සිය ශෝකය ප්‍රකාශ කළ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවසා තිබුණේ ‘’ඉන්දීය ඉතිහාසයේ ඉසුරැමත් පරිච්චේදයක් ඈත් සමඟ අවසන් වූ බවයි.’’

විශේෂයෙන්ම දිළිදු ජනතාවගේ යහපත උදෙසා මෙන්ම මහජනතාවට උපරිමව සේවය කිරීම සදහාද ඈ තුළ වූ කැපවීම සුපුරුදු සාමාන්‍ය දේශපාලකයන් අභිබවා ගිය එකකි. ඇගේ වියෝව පිළිබදව ප්‍රකාශක් නිකුක් කරමින් ඉන්දීය ජනපති රාම්නාත් කෝවින්ද් පවසා සිටියේ ඇය සිය ජීවිතය තුළ අවංක බවත් ගෞරවයත් කැපවීමත් එක් වර ප්‍රගුණ කළ ආදරණීය නායිකාවක් බවයි.

රාහුල් ගාන්ධි ඇය ගැන සටහනක් තබමින් පැවසුවේ සෑම මෙහොතකම ජනතාව වෙනුවෙන් කැප වී සිටි ඈ ඉන්දියානු ජනතාවට කළ සේවය සදා අනුස්මරණීය බවයි.

තමන්ට ඉතා සමීප වූ නායකාවක මෙසේ හදිසියේ වියෝ වීම පිළිබදව මුළු මහත් ඉන්දියාවම මේ වන විට කම්පා වී සිටී. සිය ගණනක් ජනයා ඇගේ නිවස ඉදිරියේ ඇයට අවසන් ගෞරව දැක්වීම සදහා රොක් වෙමින් සිටිති. පසුගියදා ඉන්දීය පාර්ලිමේන්තුව විසින් කාශ්මීරයට විශේෂ බලතල ලබා දී තිබූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 370 වගන්තිය අවලංගු කිරීම පිළිබදව  ඇගේ අවධානය දැඩි සේ යොමු වී තිබූ බව ඇගේ ඥාතීන් විසින් බී බී සී සේවයට පවසා ඇත.

ඉන්දීය දේශපාලන ඉතිහාසය තුළ කැපී පෙනෙන මෙන්ම ඉන්දියාව ජාත්‍යන්තරය තුළ කැපී පෙනෙන රටක් කිරීමෙහි ලා කැප වූ නායිකාවක වූ සුෂ්මා ඉන්දීය භාරතීය ජනතා පක්ෂය නියෝජනය කළාය. සත් වතාවක්  ඉන්දීය පාර්ලිමේන්තුවේ සාමාජිකාවක ලෙස තේරී පත් වූ ඇය ඉන්දියාවේ හරියානා ප්‍රාන්තයෙන් බිහි වූ ළාබාලතම දේශපාලන නායිකාව වුවාය. ඒ ඇයට අවුරුදු 25 දීය. ඇමරිකානු දිනපතා පුවත් පතක් වන Wall Street Journal ඇයව හදුන්වා ඇත්තේ ඉන්දියානුවන්ගේ ප්‍රශස්තම ආදරය දිනාගත් නායිකාව ලෙසයි.

දිල්ලියේ පිහිටි ඇයගේ පෞද්ගලික නිවසේ ඇයගේ දේහය තැන්පත් කර තිබේ.මහජන ගෞරවය සඳහා පැය තුනක කාලයක් භාරතීය ජනතා පක්ෂ මූලස්ථානයේ ඇගේ දේහය තැන්පත් කිරීමෙන් අනතුරැව අවසන් කටයුතු සිදු කෙරෙන ආදාහනාගාරය වෙත රැගෙන ගියාය. එහිදී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සුෂ්මා ස්වරාජ් මහත්මියගේ අවසන් කටයුතු සිදු කළාය.

 

 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30