2019 ජුලි 13 වන සෙනසුරාදා

ගොන් පොරයෙන් 7කට තුවාල!

 2019 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 73

ස්පාඤ්ඤයේ වාර්ෂිකව පැවැත්වෙන සැන් ෆර්මින් උත්සවය අතරතුර පුද්ගලයන් 7 දෙනකු තුවාල ලබා ඇත. ස්පාඤ්ඤයේ පැවැත්වෙන රාජ්‍ය උත්සවයක් බඳු මී ගවයන් සමඟ දිවීම (Running of the Bulls) ලෝකයේ ඉතා ප්‍රසිද්ධ සාම්ප්‍රදායිකව මෙන්ම ආගමික මූලයක් සහිත උළෙලකි.

මේ ඉසව්ව සංවිධානය වන්නේ ස්පාඤ්ඤයේ, පැම්ප්ලෝනා (Pamplona) නගරයේය. එහිදී දින 07ක් පුරාවට සංවිධාන කරන ආගමික උත්සවයක් ඇත. ක්‍රිස්තියානි මූලයක් ඇති එමඟින් “ෆර්මින් සාන්තුවරයාට” (Saint Fermin) ගෞරවය කිරීම කරනු ලබයි. මෙවර මේ උත්සවය සෑම වර්ෂයකම මෙන් ඉකුත් ජූලි 06 වැනිදා ආරම්භ වුණි. මෙහි විවිධ ඉසව් රැසක් තිබුණත් බොහෝ දෙනා දැඩි ආශාවක් දක්වන්නේ ජූලි 07 වැනිදා සිට ආරම්භ වූ මී ගවයන් සමඟ දිවීමේ අවස්ථාවටයි.

මේ උත්සවයේ ඉතිහාසය පිරික්සා බලන විට මෙය මධ්‍යතන යුගයේ සිට පැවත එන එකිනෙකට වෙනත් උත්සව දෙකක එකතුවකි. ග්‍රීෂ්ම සෘතුව (Summer) ආරම්භයත් සමඟම වෙළෙඳුන් පැමිණෙන වාණිජමය මුහුණුවරක් ගත් වෙළඳ භූමියක මෙය සිදු කෙරෙයි. ඊට ගවයන් විකුණන ගව වෙළෙඳුන් ද තම සතුන් අලෙවිකර ගැනීමට පැමිණි බව සඳහන්ය. මේ පැමිණීමත් සමඟම “ගවපොර” ඉසව්ව ආරම්භ වී ඇති අතර එහි ආරම්භය 14 වැනි ශත වර්ෂයට විහිදෙයි. ආගමික මුහුණුවර ඇති උත්සවය එකල පැවැත්වූයේ ඔක්තෝබර් 10 වැනිදාය. නමුත් 1951 වර්ෂයේ පටන් මෙය ජූලි 07 වැනිදාට මාරු කරනු ලැබුවේය. මුලදී මෙය දින දෙකක් පමණක් ක්‍රියාත්මක වුවද දැන් එය සතියක් පුරාවට ක්‍රියාත්මකය. කෙසේ වෙතත් සෑම වර්ෂයකම විශාල පිරිසක් මෙයට එක් වී තුවාල ලබයි. එමෙන්ම 1924 වර්ෂයේ පටන් මේ දක්වා කාලය තුළ පුද්ගලයන් 15 දෙනෙක් මරුමුවට පත්ව ඇත.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00