2019 ජුලි 06 වන සෙනසුරාදා

රාහුල් ඔටුන්න අත්හරියි!

 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 87

මෙවර ඉන්දීය මැතිවරණයෙන් අගමැති මෝදි ඇතුළු “බීජේපි” රජය නැවත බලයට පත්වීමත් සමඟ ප්‍රධාන විපක්ෂය බවට පත් වූ කොංග්‍රසය තුළ බල අරගලයකට මග පෑදුණේය. ඉතිහාසගත ජයක් ලබන බවට පම්පෝරි ගැසූ රාහුල් ගාන්ධි හට අත්වූයේ අන්ත පරාජයකි. මැතිවරණයට පසුදාම ඔහු කොංග්‍රස් මුල් පුටුව අතහැර පක්ෂයේ අර්බුදකාරී කටු ඔටුන්න ගලවා දමන්නට සිතුවද සෝනියා ප්‍රමුඛ ඉහළ කමිටුවක් එයට ඉඩ දුන්නේ නැත. නමුත් පසුගිය සතියේ රාහුල් ඇත්තටම එය අත්හැර ඉල්ලා අස්විය. සැබවින්ම ඉන්දියාවේ මුල් පුටුව වැඩි කලක් දැරුවේ නේරු-ගාන්ධි පවුලේ උදවියය. මේ නිසා ඒ අය ඉන්දියාවේ රජ පවුල වැනිය. ඉතින් රාහුල් මෙලෙස ඉවත්ව යාමෙන් අත්හැර දමන්නේ තමන්ට හිමි රජ ඔටුන්නය.

රාහුල් කොංග්‍රස් පක්ෂයේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමෙන් පසු එහි අනාගත නායකත්වය සඳහා මේ වනවිට යෝජනා වී ඇත්තේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් දෙදෙනෙකුගේ නම්ය. සුෂිල් කුමාර් ෂින්දේ හා මල්ලිකාර්ජුන් කාර්ගි යන දෙදෙනාගේ නම්  එලෙස නිර්දේශ වී තිබේ. ඒ අනුව නැවතත් කොංග්‍රසයේ නායකත්වය නේරු-ගාන්ධි පවුල්වලින් ගිලිහීමට නියමිතය.

මීට පෙර අවසන් වරට කොංග්‍රස් පක්ෂ නායකත්වයට පත් වූ නේරු-ගාන්ධි පවුල් නියෝජනය කරන තැනැත්තා වූයේ හිටපු අමාත්‍යවරයෙකු වන සීතාරාම් කේස්රීය. ඔහුට අමතරව නේරු-ගාන්ධි පවුල්වලට සම්බන්ධ නොවන එකම කොංග්‍රස් නායකයා වන්නේ හිටපු අග්‍රාමාත්‍ය නරසිම්හ රාඕය. රජිව් ගාන්ධි ඝාතනයෙන් පසු ඔහු ඉන්දීය අගමැති තනතුරට මෙන්ම කොංග්‍රස් පක්ෂයේ නායකත්වයටද පත් විය.

අනෙක් විශේෂත්වය වන්නේ අනාගත කොංග්‍රස් නායකත්වය සඳහා යෝජනා වී තිබෙන පුද්ගලයන් දෙදෙනාම දාලිත් කුලයට අයත් වීමය. හින්දු ඉගැන්වීම්වලට අනුව දාලිත් කුලය පහත් කුලයක් ලෙස සැලකෙන අතර දාලිත් කුලයේ සුසිල් කුමාර්ට හෝ මල්ලිකාර්ජුන්ට කොංග්‍රස් පක්ෂයට නායකත්වය ලබා දී පක්ෂය ජයග්‍රාහී මාවතට ගෙන ඒමට හැකිවේද, එසේ නැතහොත් එය ඔවුන්ටත් කටු ඔටුන්නක් වේද යන්න තාමත් අවිනිශ්චිතය.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00