2019 ජුනි 29 වන සෙනසුරාදා

ජී 20 කතා අතරේ මෝදි- ට්‍රම්ප් හමුවේ

 2019 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 75

ලෝකයේ ප්‍රබල ආර්ථිකයන්ට හිමිකම් කියන රටවල රාජ්‍ය නායකයන් සහභාගි වන ‘ජී 20’ සමුළුව ජපාන අගමැති ෂින්සෝ අබේගේ ප්‍රධානත්වයෙන් එරට ඔසාකා නුවරදී   ආරම්භ වුණි. ලෝකය ගමන් ගන්නා ආර්ථික හා දේශපාලනික දිශානතිය තීන්දු කරන එක් සාධකයක් ලෙස ජී 20 සමුළුව සැලකෙයි. ‘ජී 20’ හෙවත් ‘20 දෙනාගේ කණ්ඩායම’ට ලොව ප්‍රධාන පෙළේ ආර්ථිකයන්ට හිමිකම් කියන රටවල් 19 යේ රාජ්‍ය නායකයන් සහ යුරෝපා සංගමය ඇතුළත්ය.

ආර්ජන්ටිනා ජනාධිපති මවුරිසියෝ මාක්රී, ඕස්ට්‍රේලියා අගමැති ස්කොට් මොරිසන්, බ්‍රසීල ජනාධිපති ජායිර් බොල්සොනාරෝ, කැනඩා අගමැති ජස්ටින් ට_ඩෝ, චීන ජනාධිපති ෂී ජින් පින්, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන්, ජර්මන් චාන්සල්වරිය ඇන්ජලා මර්කල්, ඉන්දුනීසියා ජනාධිපති ජොකෝ විඩෝඩෝ, ඉතාලි අගමැති ජුසෙපි කොන්ටි, රැසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්, සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු, මෙක්සිකෝව වෙනුවෙන් එරට විදේශ ඇමැති මාර්සෙලෝ එබ්රාඩ්, දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රමපෝසා, දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන්, තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්, මහා බ්‍රිතාන්‍යය වෙනුවෙන් නව අගමැතිවරයකු පත්වන තෙක් ධුරයේ කටයුතු කරන අගමැතිනි තෙරේසා මේ, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමුළුවට සහභාගී වෙති. ඊට අමතරව යුරෝපා සංගමය වෙනුවෙන් එහි සභාපති ෂෝන් ක්ලෝඩ් ජන්කර් සමුළුවට සහභාගී වෙයි.

මෙවර ‘ජී 20’ සමුළුවේදී ප්‍රධාන තේමාව වන්නේ ‘මානුෂීයමය අනාගත සමාජයක් ගොඩනැගීම’ යන්නයි. ගෝලීය ආර්ථික කටයුතු, වෙළෙඳ සහ ආයෝජන කටයුතු, නව්‍යකරණය, ත්‍රස්තවාදය පිටුදැකීම, පරිසරය සහ බලශක්ති පිළිබඳ කටයුතු, සංවර්ධනය, කාන්තාවන් වෙනුවෙන් වැඩි තැනක් දීම සහ සෞඛ්‍ය ආදී වශයෙන් මාතෘකා සම්බන්ධයෙන්ද සමුළුවේදී සාකච්ඡා පැවැත්වෙනු ඇත.

සමුළුව වෙනුවෙන් සුපුරුදු පරිදි විශේෂ ආරක්ෂක වැඩසටහනක් ක්‍රියාත්මකයි. එමෙන්ම, ‘ජී 20’ සමුළුවට විරෝධය දක්වන කණ්ඩායම්ද සුපුරුදු පරිදි ඔවුන්ගේ විරෝධතාවල නියැලෙන බව වාර්තා වෙයි. ලෝක නායකයන් වසරකට වරක් එක්රුස් වී, කා බී විනෝද වෙනවා හැර ලොවට යහපතක් කිරීමේ අරමුණක් ඔවුන්ට නැති බව එම විරෝධතාකරුවන්ගේ අදහසයි. පසුගිය වසරේ එනම් 2018 දී ‘ජී 20’ සමුළුව පැවැත්වූයේ ආජන්ටිනාවේ බුවනෝස් අයිරේස් අගනුවර කේන්ද්‍රකොට ගනිමිනි. ලබන වසරේ එනම් 2020 දී ‘ජී 20’ පැවැත්වෙනු ඇත්තේ සෞදි අරාබියේදීය.

‍ජපානයේ ඔසාකා නුවර පැවැත්වෙන ජී 20 සමුළුවට සමගාමීව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර සාකච්ඡාව කැපී පෙනෙයි. දෙරට අතර වෙළෙඳ යුද්ධය උත්සන්න වී ඇති පසුබිමකදී මෙම හමුව සිදුවීම විශේෂත්වයකි. එහිදී දෙරට අතර වෙළෙඳාම සම්බන්ධයෙන් ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙනු ඇතැයි පැවසෙයි.