2019 ජුනි 22 වන සෙනසුරාදා

ඉන්දියාව වියළෙයි!

 2019 ජුනි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 89

ජලාශ හිඳෙයි: තද රස්නෙන් සියයක් මරුට: වසංගත හිස ඔසොවයි

ඉන්දියාව සාමාන්‍යයෙන් ග්‍රීෂ්ම ඍතුවේදී අධික උණුසුම් කාලගුණයත් සමඟ ජල හිඟයකට මුහුණ දෙයි. මෝසම් වර්ෂාව ඉතා අඩු මට්ටමක පැවතීම හේතුවෙන් මේ වසරේදී එම තත්ත්වය වඩාත් දරුණු ලෙස ඉහළ ගොස් ඇත. බිහාර් දිල්ලි උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත මේ වියළි කාලගුණ තත්ත්වයෙන් දරුණු ලෙස බැට කා තිබේ.

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයට බලපා ඇති අධික උණුසුම හේතුවෙන් ඇතිවන තාප තරංග කාලගුණයෙන් සිය ගණනක් මියගොස් ඇත. අයහපත් කාලගුණයෙන් රෝගී වූ පුද්ගලයන් පන්සීයකට අධික පිරිසක් රෝහල් ගතකර ඇත. ඔවුන්ගෙන් වැඩි පිරිස වයස්ගත පුද්ගලයන්ය. මෙම කාලගුණයෙන් වැඩි බලපෑම් එල්ල වී තිබෙන්නේ ගයා, ඔරන්ගාබාද් සහ නවාදා යන දිස්ත්‍රික්කවලටය.

මේ අතර ඉන්දියාවේ 6 වන විශාලතම නගරය වන (චෙන්නායි) දැනට සති කිහිපයක සිට උග්‍ර ජල හිඟයකට මුහුණ දී ඇත. ප්‍රධාන ජලාශ හතරක් සිඳීයාම නිසා චෙන්නායි නගරය මෙම උග්‍ර ජල අර්බුදයට මුහුණ පා ඇත. ජල හිඟය හේතුවෙන් මහජනතාව දැඩි අපහසු තත්ත්වයකට මුහුණ දී සිටිති. ඉක්මන් විසඳුමක් ලෙස නොයෙක් ස්ථානවල කැණීම් සිදුකර නළ ළිං සවි කිරීමට කටයුතු කර තිබේ. ජලය හිඟවීම නිසා නගරය පුරා ඇති අවන්හල් වසා දමා ඇති අතර, රජයෙන් සපයන ජල ටැංකි ඉදිරියේ ඇති පෝලිම්වල පැය ගණනක් සිටිය යුතු බව නගරවැසියෝ පවසති. ජලාශ සිඳීයමින් තිබෙන විට නගරයේ තිබෙන හෝටල් සහ අවන්හල් එකින් එක තාවකාලිකව වසා දැමිණි. චෙන්නායි දුම්රිය ස්ථානවල වායුසමීකරණ නවතා දමා ඇති අතර, ජලය රැක ගැනීමේ පියවරක් ලෙස කාර්යාල සේවකයන්ට නිවෙස්වල සිට රැකියාවේ නිරත වන ලෙසට බොහෝ සමාගම් උපදෙස් දී තිබේ.

බිහාර් ප්‍රාන්තය තුළ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 45ක් පමණ වන අතර ඇතැම් ස්ථානවල උෂ්ණත්වය සෙලිසියස් අංශක 48 දක්වා ඉහළ ගොස් ඇත. වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ගයා ප්‍රදේශයෙන් වන අතර දිල්ලි, රාජස්ථාන් සහ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තවලින්ද ඉහළ උෂ්ණත්ව අගයන් වාර්තා වේ. මීට අමතරව බිහාර් ප්‍රාන්තය තුළ ජැපනීස් එන්සෙෆලයිටීස් නම් රෝගය ද පැතිර යන අතර ඉන් ළමා මරණ පමණක් සියයකට අධික සංඛ්‍යාවක් සිදුව ඇත.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00