2019 ජුනි 22 වන සෙනසුරාදා

ඔත්තු යානා හුටපටයෙන් මැදපෙරදිග ගිනි ඇවිලෙයි!

 2019 ජුනි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 139

සතියකට පෙර ඕමාන් ගල්ෆ් කලාපයේදී ඉන්ධන නෞකා දෙකකට ප්‍රහාර එල්ල වූ අතර, ඊට මසකට පමණ පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙරළ ආසන්නයේදී තවත් නෞකා 4ක් ඉලක්ක කර ප්‍රහාර එල්ල විය. මේ සම්බන්ධයෙන් සෞදි අරාබිය සහ අමෙරිකාව චෝදනා එල්ල කළේ ඉරානයටය. ඒ අතර එකට එක කරන්නට මෙන් සිය දේශසීමාව තුළට කඩාවැදුණු අමෙරිකානු ඩ්‍රෝන යානයක් බිම හෙළීමට ඉරානය කටයුතු කිරීමත් සමඟ මැදපෙරදිග කලාපය තුළ උණුසුම් තත්ත්වය නැවත ඉහළ ගියේය. සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු මොහමඩ් බින් සල්මාන් කීවේ, කලාපය තුළ උණුසුම් තත්ත්වයක් වර්ධනය වෙමින් පවතින හෙයින් ඕනෑම තර්ජනයකට මුහුණදීමට සෞදි අරාබිය පසුබට නොවන බවය. තමන්ට මැද පෙරදිග කලාපය තුළ යුද්ධයක් අවශ්‍ය නැති නමුත්, අපේ ජනතාවට ස්වෛරීත්වයට සහ අපේ භෞමික අඛණ්ඩතාවට යම් තර්ජනයක් එල්ල වෙනවා නම් එයට ප්‍රතිචාර දක්වන්නට තමන් පසුබට නොවන බව  මොහමඩ් බින් සල්මාන් කුමරු අරාබි පුවත්පතකට පවසා තිබිණි.

ඉන්ධන නැව් දෙකකට ප්‍රහාර එල්ල වූයේ ජපාන අගමැති ඉරානයේ සංචාරයක යෙදෙන අතරතුරය. මෙම නැව්වලින් එකක් ජපානයට අයත් වූවකි. ලෝකයේ විශාලතම ජාත්‍යන්තර නැව් සංගමය සෙනසුරාදා පැවසුවේ, ප්‍රහාරවලින් පසුව ඕමාන් සහ හෝමස් කලාපවලට නෞකා ඇතුළත් නොකරන ලෙස නැව් සමාගම් තමන්ට දැනුම් දුන් බවය. ඉරාන මාධ්‍ය වාර්තා කළේ, ඉරානය විසින් නෞකා දෙකෙහි සිටි සාමාජිකයින් 44 දෙනෙකු මුදාගත් බවය. මෙම පිපිරීම්වලට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. ඇමෙරිකානු නාවික හමුදාව පැවසුවේ, ඔවුන්ට නැව් ආපදාවට ලක්ව ඇති බවට දුරකතන ඇමතුම් ලැබුණු බවය.

මේ අතර ඉරාන ගුවන් අවකාශය තුළදී නියමුවන් රහිත ඇමෙරිකානු ඔත්තු සේවා යානයකට පහර දී බිම හෙළූ බව ඉරානයේ රාජ්‍ය ආරක්ෂක හමුදා ශාඛාවක් වන ඉස්ලාම් විමුක්ති ආරක්ෂණ බළකාය පැවසුවේය. ඇමෙරිකාව එය තහවුරු කරමින් පවසා ඇත්තේ, හෝමස් සමුද්‍ර සන්ධිය ඉහළින් පියාසර කරමින් තිබියදී ඉරාන ගුවන් මිසයිල ප්‍රහාරයකින් නාවික හමුදාවට අයත් MQ-4C Triton මාදිලියේ  එම යානය කඩා වැටී ඇති බවය. මෙම සිද්ධිය වාර්තා වූයේ, මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් තත්ත්වය හමුවේ අතිරේක හමුදා භටයින් 1000ක් එම කලාපයට යවන බවට ඇමෙරිකාව නිවේදනය කිරීමෙන් දින කිහිපයකට පසුවය.

2017 වසරේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකානු ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු ඇමෙරිකාව සහ ඉරානය අතර පැවති සබඳතා බරපතළ ලෙස පිරිහිණි. ඔහු ඉරානය සමඟ පැවති න්‍යෂ්ටික ආයුධ සම්බන්ධ ගිවිසුමක් අත්හැර දැමූ අතර එරටට එරෙහි සම්බාධක දැඩි කළේය. ඉරානය සහ ඇමෙරිකාව අතර පැවති උණුසුම් තත්ත්වය තවදුරටත් වර්ධනය වූයේ, තමන් සතු අඩු බලැති යුරේනියම් ප්‍රමාණය ලබන සතිය වන විට 2015 දී ඇති කර ගත් ජාත්‍යන්තර එකඟතා සීමාව ඉක්මවා යනු ඇති බවට සඳුදා ඉරානය කළ නිවේදනයත් සමඟය. ඇමෙරිකාව තමන්ට එරෙහි ආර්ථික සම්බාධක තවදුරටත් දැඩි කිරීමට ප්‍රතිචාර වශයෙන් ඉරානය යුරේනියම් නිෂ්පාදනය ඉහළ දැමීය.

ඉරානය පවසන පරිදි, බ්‍රහස්පතින්දා ඇමෙරිකානු ඔත්තු සේවා ගුවන් යානයට ප්‍රහාර එල්ල කළ (කුමොබාරක්) ප්‍රදේශය හෝමස් සමුද්‍ර සන්ධියට ආසන්නව පිහිටා තිබේ. එය ජාත්‍යන්තර ඉන්ධන සපයන්නන්ගේ ප්‍රධාන මුහුදු මාර්ගයකි. මේ අතර ඉදිරි සතියේ දිනක ජෙරුසලමේ විශේෂ ඊශ්‍රාල - රුසියානු - ඇමරිකානු ත්‍රෛපාර්ශ්වික හමුවක් පැවැත්වීමට නියමිතය. එය මැදපෙරදිග කලාපයේ ස්ථාවරභාවය හා ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතා වැදගත් වනු ඇතැයි ඊශ්‍රාල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පැවසීය.

වාර්තා වන පරිදි, මෙම හමුව ජූනි මස 24 – 26 අතර දිනයකදී පැවැත්වෙනු ඇත. ඇමරිකානු ජාතික ආරක්ෂාව පිළිබඳ උපදේශක ජෝන් බෝල්ටන් හා රැසියාවේ එම තනතුර දරන නිකලොයි පැටෘෂෙව් ලබන සතියේදී මේ සඳහා එරටට පැමිණීමට නියමිතය. ඊශ්‍රාල ජාතික ආරක්ෂාව පිළිබඳ උපදේශක මෙයර් බෙන්-ෂැබත්ද මෙයට සහභාගී වනු ඇත. මෙවන් ත්‍රෛපාර්ශ්වික හමුවක් පැවැත්වීමේ වැදගත්කම අගමැති නෙතන්යාහු විසින් මුල්මවරට පෙන්වා දුන්නේ, පසුගිය පෙබරවාරි මස ක්‍රෙම්ලින්හීදී සිරියාව තුළ ඉරානයේ පැවැත්ම පිළිබඳ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ පැවති සාකච්ඡාවකදී ය.

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00