2019 ජුනි 15 වන සෙනසුරාදා

මහජන සුළිය හොංකොං කළඹයි!

 2019 ජුනි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 131

අපරාධකරුවන් නඩු විමසීම සඳහා චීනයට භාරදීමේ ඉඩකඩ ලබාදෙන නව උදර්පන නීති සම්පාදනය සඳහා ඉදිරිපත් කළ කෙටුම්පතකට එරෙහිව හොංකොං නගරයට මහා සුළියක් බඳු ජනගහනයක් කඩා වැදුණි. වියරු වෙස්ගත් මේ මහා ජනසංන්නිපාතය වැළැක්වීමට කැඳවා ඇති 5000ක් පමණ වූ පොලිස් හමුදාව කඳුළු ගෑස්, ගම්මිරිස් දියර, රබර් බුලට් සහ ජල ප්‍රහාරක යොදා එම විරෝධතාව නැවැත්වීමට දැරු උත්සාහය ප්‍රතිපලදායක වූයේ නැත. බ්‍රහස්පතින්දා වනවිට 79ක් තුවාල ලබා සිටි අතර දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා විය. විරෝධතා සංවිධායකයන් වගාඩම්බර කියනා ආකාරයට මේ විරෝධතාවට දසලක්ෂයකට ආසන්න පිරිසක් අග නගරයට පැමිණ තිබේ. ඒ ගණන ඇත්තක් නම් 1997දී එංගලන්ත පාලනයෙන් චීනයට පවරා දුන් හොංකොං තුළ හටගත් විශාලතම ජන විරෝධතාව මෙයයි. මෙයට පෙර 2014දී පැවැති මෙබඳු විරෝධතාවක් මාස 03ක් තිස්සේ දිග්ගැසී ගියේය. 

එරට ක්‍රියාත්මක සිවිල් මානව හිමිකම් පිළිබඳ සංවිධානයක් විසින් කැඳවා තිබු නව විරෝධතා මාලාව හේතුවෙන් හොංකොංහි ජනජීවිතය අඩාල වී ඇත. සිය රටේ නීතිය සම්බන්ධයෙන් මැදිහත්වීමට චීනයට අයිතියක් නොමැති බව විරෝධතාකරුවෝ පෙන්වා දෙති. බ්‍රහස්පතින්දා වනවිට ව්‍යවස්ථාදායක සභාව ඉදිරිපිට රැස්වූ පිරිස එය වටලා දිවා රෑ නොබලමින් දැවැන්ත විරෝධතාවක් පවත්වන්නට කටයුතු කළහ. හොංකොංහි ඇති නවීනතම ආරක්ෂක උපක්‍රම මග හැරීමට මුහුණු ආවරණ හා තාක්ෂණ උපකරණද රැගෙන ඒමට මේ පිරිස ක්‍රියාකර තිබුණි.

යෝජිත නව උදර්පණ නීතිය යටතේ මනුෂ්‍ය ඝාතන සහ ස්ත්‍රී දූෂණය වැනි බරපතළ අපරාධ පිළිබද සැකකරුවන් හොංකොංහි පාලන රාජ්‍යය වන චීනය වෙත යැවීමට හැකිවේ. එහි පැවැත්වෙන නඩු විභාගවලින් පසු වරදකරුවන්ට දඬුවම් ලබාදීමට යෝජනා වී ඇත. විරෝධතාකරුවන් පෙන්වා දෙන්නේ දැඩි චීන නීතිය යටතේ වධහිංසා පැමිණවීම, නීති විරෝධී රඳවා ගැනීම සහ බලහත්කාරයෙන් වරද පිළිගැනීම වැනි අවනීතීන්ට මුහුණදීමට, වරදක් නොකළ හොංකොං වැසියන්ට පවා සිදුවනු ඇති බවය. මේ විරෝධයට එක්ව සිටින බහුතරය තරුණ ජනතාවය. දිනෙන් දින ඉහළ යන විරැකියාවත්, අහස උසට ඉහළ යන නිවාස ගැටලුවත් හේතුවෙන් ඔවුන් සිටින්නේ නොසන්සුන්වය. චීන ලැදි රජයේ කටයතු පිළිබඳ ඔවුන් සිටින්නේ අමනාපයෙනි. රටේ දැනට පවතින “එක රටක් පාලන දෙකක්” තියරිය දැන් ඔවුනට අප්‍රසන්න වී තිබේ. මහාජන සුළියක් ප්‍රධාන නගරයට කඩා වදින්නට මේ හේතුද තදින්ම බලපා තිබේ.

නව උදර්පණ නීතියට එරෙහි විරෝධතාව එරට නායිකා කැරී ලෑම්ගේ තද දෝෂදර්ශනයට ලක්ව තිබේ. මෙය සංවිධානාත්මක කැරුල්ලක් බව පැවසූ ඇය විරෝධතාකරුවන් හා පොලිසිය අතර ඇතිවූ ගැටුම කිසිදු සිවිල් සමාජයක් අනුමත නොකරන බවද ප්‍රකාශ කර තිබුණි. චීනයේ ප්‍රධාන මාධ්‍ය වාර්තා කර තිබුණේ නීති පද්ධතියේ සිදුරැ වසා හොංකොං අපරාධකරුවන්ට පාරාදීසයක් වීම වැළැක්වීම මෙහි අරමුණ බවය.