2019 ජුනි 08 වන සෙනසුරාදා

ට්‍රම්ප් හිර කරනු ලන්ඩන් වැසියෝ පවසති

 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 73

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ දිනවල එංගලන්ත සංචාරයක යෙදී සිටියි. ඔහුගේ බොහෝ කටයුතුවලදී මෙන් මේ ගමනේදීද ට්‍රම්ප් ජාත්‍යන්තරය කළඹන පුවත් මවන්නෙකු බවට පත්විය. බ්‍රිතාන්‍යයට පැමිණීමටත් පෙරම ට්‍රම්ප්, ලන්ඩන් නගරාධිපති සාදික් ඛාන් සහ ඔහු අතර පවතින දේශපාලන හබය නැවුම් කර ගත්තේ සාදික් ඛාන් “අන්තිම පරාජිතයෙකු” බව පවසමිනි. සාදික් මේ සඳහා පිළිතුරු දී තිබුණේ “මේ වගේ හැසිරීමක් තමා මගේ දෝනියැන්දලාගෙන් වයස අවුරුදු 11 කාලේ දකින්න බලාපොරොත්තු  වුණේ” කියමිනි. කලින් සාදික් ට්‍රම්ප් හඳුන්වාදි තිබුණේ 20වෙනි  සියවසේ පැසිස්ට්වාදියා හැටියටය. මේ කතාවෙන් ඇවිස්සුන ට්‍රම්ප්, සාදික් අවලක්ෂණ අයෙක් හැටියටත් පරාජිතයෙක් ලෙසත් මඩ ප්‍රහාර එල්ල කළේය.

දෙදෙනාගේ මේ ට්විටර් මඩ ප්‍රහාර අතරෙ ටුම්ප්ගේ තෙදින නිල සංචාරයට එරෙහිව මහා විරෝධතාද පැන නැගී තිබුණි.ප්‍රධාන නගර කිහිපයකම ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සංචාරයට විරෝධය දක්වන මහ පරිමාණ උද්ඝෝෂණ දක්නට ලැබිණි. ලන්ඩන්, මැන්චෙස්ටර්, බෙල්ෆාස්ට්, බර්මිංහැම් සහ නොටිංහැම් ආදී නගර රැසක ජනතාව විරෝධතා සංවිධානය කර ඇත. ඉන් එක් උද්ඝෝෂණයක් ට්‍රැෆල්ගා චතුරශ්‍රයේ පැවැත්වේ. කම්කරු පක්ෂ නායක ජෙරමි කෝබින්ද ලන්ඩන් නගරයේ එම විරෝධතා රැළිය ඇමතීමට නියමිතවිය. ට්‍රම්ප් විරෝධී රැළිය පැවැත්වෙන ස්ථානය සැණකෙළි ස්වරූපයක් ගෙන ඇති අතර එම ප්‍රදේශයේ පොලිස් ආරක්ෂාව තර කර තිබුණි. සමහරු, “ඔහුව හිර කරනු” යනුවෙන් දැක්වෙන පුවරු දරාගෙන සිටින අතර වෙනත් අයෙක් “ට්‍රම්ප් ලෝකෙටම අනතුරක්” යනුවෙන් දැක්වෙන පුවරු දරා සිටියහ. 

ලන්ඩන් වේලාවෙන් උදෑසන 9.00ට ඇමරිකානු ජනාධිපතිවරයා රැගත් “එයාර් ෆෝස් වන් (Air Force One)” යානය ලන්ඩන් ස්ටැන්ස්ටඩ් ගුවන්තොටුපලට ළඟාවිය. මෙම සංචාරය අතරතුරදී ඇමෙරිකානු ජනාධිපතිවරයා බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ සාමාජිකයින් මෙන්ම අග්‍රාමාත්‍ය තෙරේසා මේ මුණගැසීමට බලාපොරොත්තු වන අතර දේශගුණ විපර්යාස ගැටලුව මෙන්ම චීනයේ හුවාවී ජංගම දුරකථන ගැටලුව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීමට අපේක්ෂා කෙරේ.

මේ අතර අමෙරිකාව සහ චීනය අතර බලඅරගලය පසුගිය සතියේ තවත් ඉහළ ගියේය. දැන් චීනය සිය රට තුළ අමෙරිකානු විරෝධී ප්‍රචාරණ කටයුතු අරඹා තිබේ. ”අමෙරිකාව නරකාදියක් එහේ යන්නට එපා” යැයි රජය ජනතාවට අවවාද කර තිබේ. මෙයට සමගාමීව චීන රජය සිය වැසියන්ට අලුත්ම සංචාරය සඳහා වන  අනතුරු ඇඟවීම්  2ක්ම නිකුත් කර ඇත. අමෙරිකාවේදී ශිෂ්‍යයන්ට මුහුණ පාන්නට වන අනතුරු ගැන මේ එක් නිවේදනයක් ඉඟිකරද්දී අමෙරිකානු පොලිසියේ නිරන්තර අතවරවලට ලක්වීමේ අවදානම ගැන විදෙස් අමාත්‍යාංශ නිවේදනයක් කියයි. සංචාරක අමාත්‍යංශය මෑතකාලීන සොරකම්, මංකොල්ල සහ වෙඩි තැබීම් ගැන පෙන්වා දෙමින් එරට අනතුරුදායක බව අවධාරණය කර තිබේ.

චීන අමෙරිකා දෙරට අතර මේ අලුත් ජංජාලය ඇවිල ගියේ මැයි 10 වැනිදා ඩොලර් බිලියන 200ක් වටිනා චීන භාණ්ඩ මත පැනවූ බදු මුදල් සියයට 10 සිට සියයට 25 දක්වා ඉහළ දැමීමත් සමගිනි. ඒ සමඟ චීන තාක්ෂණික දැවැන්තයා වන හුවාවේ වෙළඳ තහනමක් පැනවීමේ තර්ජනයක්ද නිකුත් කර තිබුණි.

මෙක්සිකෝ දේශසීමාව අසල තාප්පයක් බැඳීමේ හිතුවක්කාර ප්‍රයත්නයෙන් ඇරැඹුණු ට්‍රම්ප්ගේ දේශපාලනික නරිනාටක අතර අලුත්ම හුටපටය වන්නෙ සිය ඓතිහාසික කලාපීය හිතවතා වන සෞදි අරාබිය සහ මැදපෙරදිග කලාපය සමඟ ඇති කරගත් හබයයි. සෞදිය චීනය සමඟ එක් වී තමන්ගේ මහාද්වීපික මිසයිල වැඩපිළිවෙළ වැඩි දියුණු කිරීමට කටයුතු අරඹා ඇතැයි යන බුද්ධි තොරතුර පසුගිය සතියේ පෙන්ටගනය කළඹවමින් ඒ වෙත ළඟා වී තිබුණි. මේ නරක ආරංචිය ආවේ ධවල මන්දිරය සහ කොංග්‍රසය අතර සවුදිය පිළිබඳ අලකලංචිය උණුසුම් මට්ටමකට පැමිණ තිබියදීය. 

 

 2019 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30