2019 ජුනි 08 වන සෙනසුරාදා

හඳට ගොස් 50යි : සමරුවට ආම්ස්ට්‍රෝං ප්‍රතිමාවක්

 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 118

“මෙය මිනිසෙකුගේ එක් කුඩා පියවරක් වුවත් මිනිස් සංහතියේ දැවැන්ත පිම්මක්” ලෙස නීල් ආම්ස්ට්‍රෝං සඳ මත පා තබා සිදුකළ උදාන ප්‍රකාශයට 50ස් වසරක් සැපිරෙන්නේ මේ මස 16 වැනිදාටය. ඒ ඓතිහාසික සිදුවීම සමරා සඳ මත පා තැබූ පළමු මිනිසා වන නීල් ආම්ස්ට්‍රෝංගේ ප්‍රතිමාවක් අමෙරිකාවේ වොෂින්ටන් අගනුවරදී පසුගියදා නිරාවරණ කෙරුණි.

ඇපලෝ එකොළහ මෙහෙයුම සඳහා සහභාගී වූ අභ්‍යවකාශ ඇඳුම් කට්ටලයෙන් සැරසුණු නීල් ආම්ස්ට්‍රෝංගේ ප්‍රතිමාව ඉදිකර තිබෙන්නේ වොෂිංටනයේ ජාතික බේස්බෝල් ක්‍රීඩාංගණයේය. එම ප්‍රතිමාව නීල් ආම්ස්ට්‍රෝංගේ ජීවමාන ප්‍රමාණයටම ඉදිකර තිබීමත් විශේෂත්වයකි. එය ජූලි මස 16 වැනිදා තෙක් ප්‍රදර්ශනය කෙරෙයි. ඇපලෝ 11 අජටාකාශ යානය මඟින් සඳ වෙත ගිය නීල් ආම්ස්ට්‍රෝං සහ එඩ්වින් ඕල්ඩ්‍රින් සඳ තරණය කොට එළඹෙන 20 දිනට වසර 50ක් සපිරෙන අතර ඊට සමගාමීව මෙම ප්‍රතිමාව නිරාවරණය කෙරුණි. ඔවුන් එහි පැය 21යි විනාඩි 36ක් ගතකොට නැවත පෘථීවියට පැමිණියේ සඳ තරණය කළ ප්‍රථම ජාතිය වීමේ ජනාධිපති ජෝන් එෆ්. කෙනඩිගේ සිහිනය සැබෑ කරමිනි. 1969 වසරේ ජූලි 16 වැනිදා කැනවරල් තුඩුවෙන් උඩු ගුවනට ගිය ඇපලෝ 11 ගගනගාමීන්ට මයිකල් කොලින්ස්ද ඇතුළත් වුණි. කෙසේ වෙතත් සඳ මත පා තැබූ පළමු මිනිසා වීමේ ගෞරවය හිමිවන්නේ නීල් ආම්ස්ට්‍රෝංටය.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00