2019 ජුනි 01 වන සෙනසුරාදා

මෝදි 2 වැනි යුගය අරඹයි!

 2019 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 76

ලොව ලොකුම මැතිවරණයෙන් අනූ කෝටියක් ඡන්දදායකයන්ගේ තෝරා ගැනීමක් ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි භාරතයේ පාලකයා ලෙසින් සිය දෙවැනි ධූර කාලය සඳහා පසුගිය බ්‍රහස්පතින්දා යළි දිවුරුම් දුන්නේය. එ් ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් ඉදිරියේදීය.

අභිමානවත් එම උ‍ළෙල රාෂ්ට්‍රපතිභවන්හිදී පැවැත්විණි. දිවුරුම් දීමේ උළෙලට පෙරාතුව හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය අතල් බිහාරි වජ්පායි සහ මහත්මා ගාන්ධි යන නායකයින්ගේ ස්මාරකවලට බුහුමන් පුදකිරීමට නරේන්ද්‍ර මෝදි අමතක නොකළේය. නරේන්ද්‍ර මෝදිගේ පදවිප්‍රාප්ත උළෙල සඳහා ඇරයුම් ලබා තිබූ පිරිස 8000කි. බංග්ලාදේශය, භූතානය, මියන්මාරය, නේපාලය, ශ්‍රී ලංකාව සහ තායිලන්තය යන බිම්ස්ටෙක් රටවල් නායකයන් සහ නියෝජිතයන් එම අවස්ථාවට සහභාගී වූ ප්‍රධාන පිරිස අතර වෙති. මීට අමතරව මොරිෂස් අග්‍රාමාත්‍ය ප්‍රවින්ද් කුමාර් සහ කිර්ගිස්ථාන් ජනාධිපති සූරොන්බේ ජීන්බෙකෝෆ්ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ දිවුරුම් දීමේ උළෙලට සහභාගී වූහ. 2014 වසරේ මුල් වරට ඉන්දීය අග්‍රාමාත්‍ය ධූරයේ දිව්රුම් දෙන විට නරේන්ද්‍ර මෝදි සියලු සාක් රටවල නායකයන්ට මෙන්ම එවකට පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා වූ නවාස් ශරීෆ් හට එම අවස්ථාවට ආරාධනා කළේය. කෙසේ වෙතත් පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වෙත මෙවර මෝදිගේ දිවුරුම් උළෙල සඳහා ආරාධනා ලැබී තිබුණේ නැත.

මෙම දිවුරුම් දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ සහ සභාපති ක්‍රිස්ටීන් ලැගාර්ඩ් හටද ආරාධනා කර තිබූ අතර ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයන් වන මුකේශ් අම්බානි, ගෞතම් අදානි, රතන් ටාටා, අජේ පීරමල් මෙන්ම විදේශික ප්‍රකෝටිපති ව්‍යාපාරිකයන් වන බිල් ගේට්ස් සහ ජෝන් චේම්බර්ස්ටද මෙම අවස්ථාවට ආරාධනා කර තිබුණි. ඉන්දීය සුපිරි ක්‍රීඩා තරු වන පී.ටී. ඌෂා, ක්‍රිකට් ක්‍රීඩක රාහුල් ද්‍රාවිඩ්, අනිල් කුම්බ්ලේ, ජවගාල් ශ්‍රීනාත්, හර්බජාන් සිං, බැඩ්මින්ටන් ක්‍රීඩිකා සයිනා නේවාල්, ජිම්නාස්ටික් ක්‍රීඩිකා දීපා කර්මකාර් යන අයටද ආරාධනා ලැබී තිබුණි. සුපිරි දකුණු ඉන්දීය නළුවන් වන රජිනිකාන්ත් සහ කමල් හසන් මෙන්ම බොලිවුඩ් තරු වන කන්ඟනා රතෝට්, ශාරුක් ඛාන්, සන්ජේ ලීලා බන්සාලි සහ කරන් ජොහාර් යන අයටද ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ දිවුරුම්දීමේ උළෙලට ආරාධනා ලැබී තිබුණි. මීට අමතරව දේශපාලන ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් ඉකුත් වසරේ බටහිර බෙංගාලයේදී මියගිය භාරතීය ජනතා පක්ෂ ආධාරකරැවන් 50 දෙනෙකුගේ පවුලේ සාමාජිකයන්ටද මේ සඳහා ආරාධනා ලැබී තිබීම විශේෂත්වයකි. 

මෙම අවස්ථාවේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක නිලධාරීන් 10,000 කට වැඩි පිරිසක් යොදවා තිබේ. අත්‍යාලංකාරව පිළියෙළ කර තිබූ මෙම උත්සවයට නිර්මාංශික ආහාර වට්ටෝරැවක් සකස් කර තිබූ අතර ඉන්දිය රසකැවිලිවලින් සැරසී තිබුණි.

පසුගියදා නිකුත් කළ ඉන්දීය පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵලවලට අනුව භාරතීය ජනතා පක්ෂය පාර්ලිමේන්තු ආසන 303ක් දිනාගත් අතර එය 2014 වසරේ ඔවුන් හිමිකරගත් ඓතිහාසික ජයග්‍රහණයද ඉක්මවූවක් බව සඳහන්ය. මේ අනුව භාරතීය ජනතා පක්ෂය මෙහෙවූ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය සතු සමස්ත පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව 352 කි. මෝදි බලයට පත්වීමත් සමග ඔහුගේ නව ඇමති මණ්ඩලය ගැන කාගේත් අවධානය යොමුවිය. කොංග්‍රසයේ රජු රාහුල් පරාජය කළ ස්මිරිටි ඉරාණී හට කැපී පෙනෙන තනතුරක්  හිමිවනු ඇතැයි කාගේත් බලාපොරොත්තුව විය. රාජ්නාත් සිං, නිතින් ගාද්කාරි, පියුෂ් ගොයාල්, නිර්මලා සීතා රාමනන්, සුරේෂ් ප්‍රභූ, රවි ශන්කර් ප්‍රසාද්, වි කේ සිං සහ රාම් විලාස් පස්වාන්ගේ නම්ද කැබිනට් මණඩලය ගැන කතාබහේදී සඳහන් විය. එසේ වුවද මෝදිගේ සහ බිජේපී රජයේ ගැලවුම්කරුවා ලෙස පිළිගැනීමට ලක්ව සිටින අරූන් ජෙට්ලි තමන් ඇමැති මණ්ඩලයට එක්කර නොගන්නා ලෙස මෙවර කලින්ම ඉල්ලා සිටියේය. සිය  අයහපත් සෞඛ්‍යය ගැන ඔහු කලින්ම මෝදිට දන්වා තිබිණි. ඉදිරියේදී රජය වේගයෙන් ක්‍රියාත්මක වන බවත් තත්පරයක් හෝ අපතේ නොයවන බවත් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මාධ්‍යය අමතා ප්‍රකාශ කර තිබේ.