2019 ජුනි 01 වන සෙනසුරාදා

ප්‍රංශ ජාතික අයි එස් 3කට මරණ දඬුවම

 2019 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 29

අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානය හා එක්වීමේ වරදට ඉරාකය විසින් ප්‍රංශ ජාතිකයන් තිදෙනෙකු හට මරණ දඬුවම ලබාදී ඇත. ප්‍රංශ පුවත් සේවය විසින් කෙවින් ගෝනෝ, ලෙනඩ් ලෝපේස් හා සලීම් මචූ ලෙස මොවුන්ව නම් කර තිබේ. ඇමෙරිකාවේ සහාය සහිත භට පිරිස් විසින් මීට මාස කිහිපයකට පෙරදී සිරියාවේදී අත්අඩංගුවට ගත් ප්‍රංශ වැසියන් 12 දෙනා අතර සිටි මොවුන්, පසුගිය පෙබරවාරියේදී නඩු විභාග සඳහා ඉරාකයට ගෙන ගොස් තිබුණි. 

මේ අතර මරණ දඬුවමට ලක්වූ පළමු ප්‍රංශ ජාතික IS සැකකරුවන් තිදෙනා ලෙස මොවුන්  ප්‍රංශ ඉතිහාසයට එක් වෙති. බැග්ඩෑ්ඩ් අධිකරණයක් විසින් ලබාදුන් මෙම නඩු තීන්දුව සම්බන්ධයෙන් ප්‍රංශය තවමත් ප්‍රතිචාරයක් දක්වා නැත. කෙසේ වෙතත්, පසුගිය පෙබරවාරියේ දී මේ පිළිබඳව සිය අදහස් විමසූ විටදී ප්‍රංශ ජනපති එමැනුවල් මැක්‍රොන් පවසා තිබුණේ මෙය ඉරාකයේ ස්වෛරීයත්වය සම්බන්ධ කරුණක් බවයි.