2019 මැයි 25 වන සෙනසුරාදා

ඉන්දුනීසියාවේ මාරාන්තික ජනරැල්ලක්

 2019 මැයි 25 වන සෙනසුරාදා, ප.ව. 12:30 31

ලොව විශාලතම ඉස්ලාම් රාජ්‍යයේ අග නගරය පුරා මේ වනවිට මහා කලහකාරී උද්ඝෝෂණ රැල්ලක් පැතිර ගොසිනි. ඒ ඉන්දුනීසියාවේ ජාකර්තා අගනුවර බ්‍රහස්පතින්දා වනවිට වාර්තා වූයේ විරෝධතා හේතුවෙන් හයදෙනෙකු මියගොස් 200 දෙනෙකු තුවාල ලබා ඇති බවය. ඉන්දුනීසියාවේ ජනාධිපතිවරයා ලෙස ජොකෝ විදොදෝ දෙවැනි වරටත් නැවත තේරී පත්වීමට එරෙහිව ජනතා විරෝධය එල්ල වෙමින් පවතී.

රට කළඹන මේ විරෝධතා හමුවේ එරට සමාජ ජාලා වෙබ් අඩවිවලට පිවිසීම අවහිර කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ. WhatsApp හා Facebook වෙබ් අඩවි එලෙස අවහිර කර ඇත්තේ, එම වෙබ අඩවි හරහා අසත්‍ය පුවත් පළවීම හේතුවෙනි. මීට අමතරව Instagram වෙබ් අඩවියට පිවිසීමටද අපහසුතා මතුව ඇත.

ජොකෝ විඩොඩෝ යළි බලයට පත්වීමට එරෙහිව පැවැත්වෙන මෙම විරෝධතා උත්සන්න වීම හමුවේ පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරද එල්ල කර තිබේ. උද්ඝෝෂකයින්ගෙන් බහුතරය පිට පළාත්වල සිට ජාකර්තා නගරයට පැමිණ ඇති බව වාර්තාවේ. පොලීසිය පැවසුවේ මෙම උද්ඝෝෂණ හොඳින් සැලසුම් කර ඇති බවත් “අහම්බෙන් සිදු නොවුවක්” බවය.
ඡන්ද ප්‍රතිඵලය අනුව විදොදෝ, තම දීර්ඝකාලීන ප්‍රතිවාදියා වූ ප්‍රබෝවෝ සුබියන්ටෝ පරාජය කර ඇති බව පෙනී යාමත් සමග උද්ඝෝෂණ ඇරඹිණි. 55.5%ක ඡන්ද ප්‍රමාණයක් ලබාගත් විදොදෝ ජනාධිපතිවරණය ජයගෙන ඇති බව ඉන්දුනීසියාවේ ඡන්ද කොමිසම අඟහරුවාදා තහවුරු කළේය. නමුත් වංචා සිදුවූ බව පවසමින්, තමා ප්‍රතිඵලය පිළිනොගන්නා බව සුබියන්ටෝ පැවසීය.

හිටපු හමුදා ජනරාල්වරයෙකු වන සුබියන්ටෝ 2014 වසරේදී පැවති මැතිවරණයෙන්ද විදොදෝට පරාජය විණි. පසුව ඔහු ඡන්ද ප්‍රතිඵලය අභියෝගයට ලක් කළද එය ප්‍රතිඵල රහිත විය. මෙවරද ප්‍රබෝවෝ සුබියන්තෝ පරාජය කරමින් දෙවන ධූර කාලයක් සඳහා විඩෝඩෝ ජයග්‍රහණය කරන ලදී. ජනාධිපතිවරණය පිළිබඳ ප්‍රතිඵල නිකුත් කිරීමට සැලසුම් කර තිබුණේ මැයි මස 22 වැනි බදාදා දින වුවද, ජනාධිපති අපේක්ෂක ප්‍රබෝවෝගේ අභියෝගාත්මක ප්‍රකාශ සමඟ රට තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමට අඟහරුවාදා (21) දින උදෑසන ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමට මැතිවරණ කොමිසම් සභාව තීරණය කරන ලදී. ඡන්ද ප්‍රතිඵල නිවේදනය කිරීමෙන් අනතුරුව සුබියන්ටෝට සහය දක්වන පිරිස් දහස් ගණනින් ඡන්ද අධීක්ෂණ ගොඩනැගිල්ල අසළ එක්රොක් වූහ. පොලිස් නිලධාරීන් සහ උද්ඝෝෂකයින් අතර ගැටුම් ඇතිවන ආකාරය දේශීය රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශය කෙරිණි. ගැටුම් ඇති වෙතැයි බලාපොරොත්තුවෙන් භටයින් 30,000ක් පමණ ජකර්තා නුවර ස්ථාන ගතකර ඇත.