2019 මැයි 11 වන සෙනසුරාදා

අමෙරිකා බෝම්බ යානා කාන්තාරය බලායයි

 2019 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 396

අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව, ඉරානයේ ලෝහ ක්ෂේත්‍රය සමඟ ගනුදෙනු කරන පාර්ශවයන්ට, සිය ගනුදෙනු අවසන් කිරීම සඳහා දින 90ක කාල සීමාවක් පනවා ඇත. මේ සහන කාලය පැනවුණේ ඉකුත් සතිමැද අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්  ඉරානයට එරෙහිව නව සම්බාධක පනවමින් විධායක නියෝගයකට අත්සන් තැබීමත් සමගිනි.

මෙම නව සම්බාධක ඉරානයේ අපනයනවලින් 10%ක ප්‍රතිශතයක් නියෝජනය කරන ලෝහ අපනයන ක්ෂේත්‍රය පදනම් කරගනිමින් පනවා තිබේ. අමෙරිකාව ඇතුළු ලෝක බලවතුන් හය දෙනෙකු සමග එළැඹි න්‍යෂ්ටික ගිවිසුමේ ඇතැම් කොටස් ක්‍රියාවට නැංවීමෙන් වළකින බව ඉරානය ඉකුත් සතිය මැද නිවේදනය කළාය. ජනාධිපති ට්‍රම්ප් මෙලෙස නව සම්බාධක පැනවීමට පියවර ගත්තේ ඉන්පසුවය.

න්‍යෂ්ටික ආයුධ නිපදවීම සහ අන්තර් මහාද්වීපික බැලස්ටික් මිසයිල නිෂ්පාදනයෙන් ඉරානය වැළැක්වීමට ගත් ක්‍රියාමාර්ගවල තවත් එක් පියවරක් ලෙස මෙය ක්‍රියාවට නංවන බවද අමෙරිකාව සඳහන් කළේය. ඒ යටතේ, ඉරානය සමඟ යකඩ, වානේ, ඇලුමිනියම්, තඹ ඇතුළු ලෝහ ආශ්‍රිත නිෂ්පාදන වෙළඳාමේ නිරත සහ ඉරානයට එම ලෝහ අ‍ෙලවියට සහය පළකරන පාර්ශවයන් වෙතද, සම්බාධක පැනවීමට නියමිතය. මෙය, ඉරානයේ ආර්ථිකයට තවදුරටත් දැඩි බලපෑමක් කරනු නියතය.

අමෙරිකාව චෝදනා කරන්නෙ ඉරානය ලෝහ අපනයනයෙන් ලබන ආදායම න්‍යෂ්ටික අවි නිපදවීමට, හමුදාව වර්ධනය කිරීමට, කලාපීය අසමගිය වර්ධනය කිරීමට සහ ත්‍රස්ත කණ්ඩායම් වෙත සහය ලබාදීමට යොදවන බවයි. ඉරානය එයට පිළිතුරු දෙන්නෙ  අමෙරිකාවේ බලපෑම් හමුවේ තම රටේ ආර්ථිකය ආරක්ෂා කිරීමට ආධාරදීම සඳහා  යුරෝපා රටවල් අපොහොසත් වීම හේතුවෙන්, මෙලෙස න්‍යෂ්ටික ගිවිසුමේ ඇතැම් කොටස්වලට එකඟවීමෙන් වැළකීමට තමන් පියවර ගත් බවය. කෙසේ වෙතත් ඉරානයේ මෙම පියවර බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ ජර්මනියේද දැඩි විරෝධයට ලක්විය.

මැද පෙරදිග කලාපයට සිය බී.52 වර්ගයේ බෝම්බ හෙළීමේ යුද ගුවන් යානා යෙදවීමට පෙන්ටගනය කටයුතු කර ඇත්තේ මේ අතරය. බී 52 වර්ගයේ යුද ගුවන් යානා දෙකක් බාක්ස්ඩේල් ගුවන් තොටුපළෙන් කටාර් රාජ්‍යය බලා බදාදා පිටත් වූ අතර තවත් එම වර්ගයේ යානා දෙකක් ඉදිරි සති කිහිපය තුළ මැදපෙරදිග කලාපයට යෙදවීමට නියමිතය. ඉරානයෙන් ප්‍රහාර එල්ලවිය හැකි බවට බුද්ධි අංශ වෙතින් ලද අනතුරු ඇඟවීම් ලැබීම හමුවේ මෙම පියවර ගත් බව අමෙරිකානු ජාතික ආරක්ෂාව පිළිබඳ උපදේශක ජෝන් බෝල්ටන් සඳහන් කළේය. අමෙරිකාව සඳහන් කළේ, මැදපෙරදිග කලාපයේ අමෙරිකානුවන්ට හෝ අමෙරිකානු හිතවාදී රටවලට ඉරානයෙන් එල්ලවිය හැකි ප්‍රහාර වැළැක්වීම මෙහි අරමුණ බවයි.

මේ අතර අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ කලින් දැනුම්දීමකින් තොරව හදිසියේම ඉරාකයේ සංචාරයක නිරත විය. ජර්මනියේ බර්ලින් නුවරට යාමට නියමිතව තිබූ සංචාරයක් අවලංගු කර බෑග්ඩෑඩ් නුවර පැය 4ක කාලයක් නතර වූ මයික් පොම්පේයෝ ඉරාක නායකයන් හමුවිය. මෙය අමෙරිකාව මැදපෙරදිග කලාපයේ ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් සහ බෝම්බ හෙළීමේ යානා යෙදවීමට සැලසුම් කිරීමෙන් පසු කළ හමුවක් වීම විශේෂත්වයකි. ඉරානය සහ අමෙරිකාව අතර මෙම නව මත භේදය දැන් අලුත් වටයකින් මැදපෙරදිග උණුසුම ඉහළ දැමීමට මුලපුරා තිබේ.