2019 මැයි 11 වන සෙනසුරාදා

ඔටුන්න හිමි 7 වෙනියාට අමුතුම නමක්

 2019 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 294

බ්‍රිතාන්‍යයේ සසෙක්ස් ආදිපාද හැරී කුමාරාටත් මේගන් මර්කල් ආදිපාදවරියටත් දාව උපන් පුතණුවන්ට හෙවත් ඔටුන්නේ හත්වෙනි හිමිකාරයාට දැන් නම් තබා අවසන්ය. ඒ, ආචි හැරිසන් මවුන්ට් බැට්න් වින්ඩ්සර් ලෙසය.

ආර්චී යන නම බ්‍රිතාන්‍ය රාජකීය පවුලට සම්බන්ධ නමක් නොවන අතර, හැරිසන් යන නාමය ද රාජකීය පවුලට අලුතින් එක්වන නාමයකි. ආර්චී යන්නෙහි අර්ථය “නියම” හෝ “නිර්භීත” වන අතර, එය බ්‍රිතාන්‍යය තුළ ජනප්‍රිය නමකි. 

ඇමෙරිකාවේ ආර්චී යන නමට වඩා හැරිසන් යන නම ජනප්‍රියය. එහි මූලික අර්ථය ලෙස සඳහන් වී ඇත්තේ, හැරීගේ පුත්‍රයා(son of Harry) යන්නය.

සිය අලුත උපන් බිළිඳාට රාජකීය තනතුරු නාමයක් භාවිත නොකිරීමටද හැරී සහ මේගන් තීරණය කර ඇත. ආදිපාදවරයෙකුගේ පළමු පුත්‍රයා වන හෙයින් සාම්ප්‍රදායිකව ආර්චී බිලිඳා ඩම්බාර්ට්න්හි අර්ල්වරයා ලෙස හැඳින්විය යුතුය. එහෙත්, හැරී සහ මේගන්ගේ තීරණය අනුව ඔහු ආර්චී දරුවා (Master Archie) ලෙස හැඳින්වෙනු ඇත. රාජකීය බිළිඳාගේ නම කුමක් ද? යන පැනයට පසුගිය කාලයේ විශාල වටිනාකමක් ලැබී තිබුණි. මේ සඳහා ඔට්ටු අල්ලන්නට විශාල පිරිසක් එක්වූහ. සූදු ක්‍රීඩා වෙනුවෙන් පවතින ආයතනද මේ සඳහා සූදානමින් සිටියහ. නමුත් ඒ කිසිවෙකුත් නොසිතන මාදිලියේ විප්ලවකාරි නමක් ඔහුට තැබීමට හැරී-මේගන් යුවළ කටයුතු කළහ.

එංගලන්ත රජකමට හිමිකම් කිව හැකි කුමර කුමරියන්ගේ ලැයිස්තුවේ හත්වැනි ස්ථානය මෙම අලුත උපන් කුමරුට හිමිවෙයි. මේගන් ආදිපාදවරිය සිය පළමු දරුවා ප්‍රසූත කළ බව හැරී කුමරැ විසින් නිවේදනය කරනු ලැබුවේ, 2019 මැයි මස 06 වැනිදාය. බ්‍රිතාන්‍ය වේලාවෙන් අලුයම 05:26ට එම නිවේදනය නිකුත් විය. උපත සිදු වූ මොහොතේ රාජකීය බිළිඳාගේ බර රාත්තල් 7යි අවුන්ස 3ක් (කිලෝ ග්‍රෑම් 3.2ක්) විය. අලුත උපන් කුමරුගේ මව වන මේගන් මාර්කල් ආදිපාදවරිය උපත ලබා ඇත්තේ එක්සත් ජනපදයේය. එම නිසා මෙම කුමාරයා මහා බ්‍රිතාන්‍යයේ මෙන්ම එක්සත් ජනපදයේද පුරවැසිභාවය හිමිකර ගැනීමට උරුමය ඇති අයෙකි.