2019 මැයි 11 වන සෙනසුරාදා

ලාහෝරයේ පුරාණ පල්ලිය දෙදරයි!

 2019 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 170

පාකිස්තානයේ ලාහෝර් නුවර පිහිටි දකුණු ආසියාවේ පැරණිතම සූෆි දේවස්ථානයක් ලෙස සැලකෙන දාතා දර්බාර් සූෆි දේවස්ථානය ආසන්නයේ ඉකුත් බ්‍රහස්තින්දා එරට වේලාවෙන් උදෑසන 8.44ට මහා පිපිරීමක් සිදුවිය. ලාහෝරයේ වෝල්ඩ් සිටි නමැති පුරාණ නගරයෙහි භාටි ගේට් නමැති පිවිසුම ආසන්නයේ පිහිටි දාතා දර්බාර් දේවස්ථානය දකුණු ආසියාවේ විශාලතම සූෆි දේවස්ථානය වේ.

2010 වසරේදීද මෙම දානා ඩාබර් දේවස්ථානයට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාර දෙකකින් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. 11 වන සියවසේදී ඉදිකරන ලද එම දේවස්ථාන පරිශ්‍රයේ සූෆි පූජකවරයෙකු වන අබුල් හසන් අලි හජ්වේරිගේ දේහය මිහිදන් කර තිබේ. එය ලාහෝරයේ වඩාත් පූජනීය ස්ථානයක් ලෙස සැලකේ. සුන්නි මෙන්ම ෂියා නිකායික මුස්ලිම් වැසියන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එම දේවස්ථානයට පැමිණෙති. සූෆි ධර්මය යනු ලොවපුරා වෙසෙන සුන්නි මෙන්ම ෂියා මුස්ලිම් නිකායන්ට අයත් වූවන් අතර ප්‍රචලිත ඉස්ලාම් ආගමික ප්‍රභේදයකි. පාකිස්තානයේ එම ධර්මය අනුගමනය කරන්නන්ට අතීතයේදී ද සන්නද්ධ කණ්ඩායම්වලින් ප්‍රහාර එල්ල වී තිබේ.

බ්‍රහස්පතින්දා මෙම මාරාන්තික ප්‍රහාරය එල්ල වූයේ, පාකිස්තානයේ මුස්ලිම් වැසියන් රාමසාන් සමය සමරමින් සිටින මොහොතකය. ප්‍රමුඛ පෙළේ සූෆි මුස්ලිම් (Sufi Muslim) දේවස්ථානය අසල සිදුවූ මෙම  පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. ජීවිත්ෂයට පත්වූවන්ගෙන් 5 දෙනෙකු පොලිස් නිලධාරීන් බව වාර්තා විය. බලධාරීන් පැවසුවේ, පොලිස් රථයක් එම බෝම්බ ප්‍රහාරයෙහි ප්‍රධාන ඉලක්කය වී ඇති බවය. එය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් ලෙස මේ වනවිට හඳුනාගන  ඇත. පාකිස්තානයේ තාලිබාන් සංවිධානයෙන් වෙන්වුණු කණ්ඩායමක් වන හිස්බුල් අහ්රාර් (Hizbul Ahrar) නමැති කණ්ඩායම එම ප්‍රහාරයේ වගකීම භාරගෙන තිබේ. අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් එම ප්‍රහාරය දැඩිව හෙළා දැක්කේය.