2019 මැයි 04 වන සෙනසුරාදා

ජපානයේ අධිරාජ්‍ යාට විරෝධයක්!

 2019 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 12:30 227

ජපානයේ නරුහිතෝ කුමරු එරට නව අධිරාජ්‍ යා ලෙසින් ඉකුත් සතියේ රාජාභිශේකය ලැබුවේය. ඒ තිස්වසරක් ජපාන රාජ්‍යත්වය දැරූ අකිහිතෝ අධිරාජ්‍ යා සිය රාජ්‍යත්වය අත්හැරීමෙන් දිනකට පසුවය. ඔහු 1817 වසරෙන් පසු ස්වේච්ඡාවෙන් සිය ධූරයට සමුදුන් ප්‍රථම ජපාන අධිරාජ්‍යයා ලෙස සඳහන්ය.

ජපන් වැසියන් විශ්වාසය පළකරන්නේ නව රජු බලයට පත්වීමෙන් අනතුරුව ජපානයට නව යුගයක් උදාවනු ඇති බවය. එය රෙයිවා යුගය ලෙසින්ද නම් කර ඇත. ජපාන ව්‍යවස්ථාවට අනුව අධිරාජ්‍ යා ජනතාවගේ එකමුතු බවේ සහ ජාතියේ සංකේතයක් පමණක් වන අතර ඔහුට කිසිදු දේශපාලන බලයක් හිමිවන්නේ නැත. 59 හැවිරිදි නරුහිතෝ කුමරුට මෙහිදී පාරම්පරිකව අධිරාජ්‍ යන්ගෙන් පැවත එන අධිරාජ්‍ යෙකුගේ බලය සංකේතවත් කෙරෙන කණ්නාඩියක්, කඩුවක් සහ මැණිකක් හිමිවනු ඇති. ජපානයේ 126 වන අධිරාජ්‍ යා වන නරුහිතෝ කුමරු, ඔක්ස්ෆර්ඩ් සරසවියේ උපාධිධාරියෙකු වන අතර ඔහු ජපානයේ ඔටුන්න හිමි කුමරු බවට පත් වූයේ වයස අවුරුදු 28දී ය.

මේ වෙනුවෙන් තෝකියෝ අගනුවර ඉම්පීරියල් මන්දිරයේ රාජකීය පරිශ්‍රයේ අති උත්කර්ෂවත් උත්සවයක් සංවිධානය වී තිබුණි. එයට අමතරව මේ නිමිත්තෙන් සංවිධාන කර තිබූ විවිධ උත්සව සහ ඉසව් අතරින් බැටළුවන් 150 දෙනෙකු යොදාගෙන සිදුකළ අපූරු නිර්මාණයක් පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍යවල දැඩි අවධානය යොමුවී ඇත. නව අධිරාජ්‍ය යුගය නම් කර ඇති රෙයිවා යන නම චීන භාෂාවෙන් නිරූපනය වන ලෙස අකුරුවල හැඩයට බැටළුවන් පෙළගස්වමින් එම නිර්මාණය සිදුකර තිබුණි. එමෙන්ම මෙම අපූරු දසුන මැයි 31 වැනිදා තෙක් සෑම දිනකම දැකගත හැකි බව සඳහන්ය.

ඒ සමඟ මේ යල් පැනගිය අධිරාජ්‍ය ක්‍රමය කෙරෙහි ඇතැම් ජපාන වැසියන්ගෙන් විරෝධයක් එල්ල වී ඇත. ඒ අනුව අධිරාජ්‍ යාට සහ අධිරාජ්‍ය ක්‍රමයට විරුද්ධ මත දරන පුද්ගලයන් පසුගියදා විරෝධතා පා ගමනක නිරත වුණේ ටෝකියෝ අගනුවරදීය. අභිෂේක ගැන්වීම වැනි උත්සව අවස්ථා සඳහා ජනතාවගේ බදු මුදල් භාවිතා කිරීම සම්බන්ධයෙන්ද ඔවුන් එහිදී විරෝධය පළකර තිබුණි. කාන්තාවන්ට අධිරාජිණියන් බවට පත්වීමට නොහැකි වීම සහ පිය උරුමය අනුව කිරුළ හිමිවීම සම්බන්ධයෙන්ද ඇතැම් ජපන් වැසියන්ගෙන් පළවන්නේ දැඩි විරෝධයකි. එමෙන්ම අකිහිතෝ අධිරාජ්‍යයා කිරුළ අතහැරීම මුල් කරගනිමින් දින 10ක නිවාඩුවක් ප්‍රකාශයට පත් කිරීම අනවශ්‍ය කරුණක් බව පැවසූ විරෝධතාකරුවන් එම තීරණය මඟින් දෛනික වැටුප් ලබන කම්කරුවන් දැඩි පීඩාවට පත්ව සිටින බවද පෙන්වා දුන්නේය.