2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා

මෝදි - ගාන්ධි ගැටුම උග්‍රයි!

 2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 289

ලොව විශාලතම මැතිවරණය මේ දිනවල පැවැත්වෙයි. එය මේ වනවිටත් සිද්ධි බහුල ආන්දෝලනාත්මක මැතිවරණයක් බවට පත්ව හමාරය. එහි දෙවෙනි අදියර ඉකුත් 18දා පැවැත්වූ අතර තෙවන අදියරේ ඡන්ද විමසීම අප්‍රේල් 23 වැනිදා ආරම්භ වීමට නියමිතය. මිලියන 900ක් හෙවත් ලෝක ජනගහනයෙන් 10%කට සමාන පිරිසක් ඡන්දය භාවිතා කරන එය ඉන්දියාවේ ලෝක් සභාවට නියෝජිතයින් තෝරාගන්නා ජනතා ඡන්දයයි. මෙවර මැතිවරණයදී මිලියන 83ක්ම ප්‍රථමවරට ජන්දය භාවිත කරන අය වෙති. ඒ අතරින් මිලියන 15ක් වයස අවුරැදු 18ත් 19ත් අතර යෞවනයෝය. රාජ්‍ය සභාව සහ ලෝක සභාව ලෙස වෙන්කර ඇති ඉන්දියාවේ පාර්ලිමෙන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය ලෙස දැක්වෙන ලෝක් සභාවේ ආසන 543ක් සඳහා මෙම මැතිවරණය පැවැත්වෙන අතර ආණ්ඩු බලය ලබාගැනීම සඳහා යම් පක්ෂයක් අවම ආසන 272ක් ලබාගත යුතුය.

ඉන්දියාවේදී ඉකුත් 11දා ඇරඹුණ මෙය මැයි 19 වැනිදා දක්වා කාණ්ඩ 07ක් යටතේ පැවැත්වීමට නියමිත එය දින 39ක් හෝ ආසන්න වශයෙන් සති 6ක් පුරා පැවැත්වෙන, එහෙයින්ම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම  මහා මැතිවරණයකි. එහි ඡන්දය ගණන් කිරීමේ කටයුතු ආරම්භ වන්නට නියමිතව ඇත්තේ මැයි 23 වැනි දිනය.

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රට ලෙස විරුදාවලියට පත්ව සිටින ඉන්දියාවේ මෙවර මහා මැතිවරණය ඉතා උණුසුම් තැනකට පත්ව ඇත්තේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී සහ රාහුල් ගාන්ධි අතර තියුණු සටනකට මුල පුරමිනි. මැතිවරණ ප්‍රචාරක සාමය තුළ පළ වූ මාධ්‍ය වාර්තාවලට අනුව ඉන්දියාවේ කොංග්‍රස් පක්ෂය ජනතා ආකර්ෂණය තමන් වෙත දිනාගැනීමට සමත්ව ඇති බව පෙනෙන්නට තිබුණි. කරුණු එලෙසම සිදුවුවහොත්  වැඩි බරක් ඇත්තේ රාහුල් අගමැති ධූරයට පත්වීමටය. ඔහු නේරු පරපුර නියෝජනය කරන්නෙකි.

නේරු පරපුර හා ඉන්දීය දේශපාලනය අතර ඇත්තේ ඉතා දැඩි සම්බන්ධතාවයකි. නිදහස් ඉන්දියාවේ ප්‍රථම අගමැතිවරයා ලෙස ජවහර්ලාල් නේරු කොන්ග්‍රස් පක්ෂය ඔස්සේ දේශපාලනයට සම්බන්ධ වීම එම පවුලේ පක්ෂ දේශපාලනයේ වැදගත් සිදුවීමකි.  අනතුරුව ඔහුගේ දියණිය වන ඉන්දිරා ගාන්ධිද කොන්ග්‍රසය නියෝජනය කරමින් එරට මුල්ම  අගමැතිවරිය බවට පත්විය. ඉන් අනතුරුව ඉන්දිරා ගාන්ධිගේ පුත්‍රයා, රජිව් ගාන්ධි ද ඉන්දියාවේ අගමැති ධූරය උසුලන අතර ඔහුගේ බිරිඳ වන සෝනියා ගාන්ධි ද, කොන්ග්‍රස් පක්ෂයේ නායිකාව ලෙස ලෝක් සභා මැතිවරණවලට මුහුණ දුන්නාය.  වර්තමානයේ කොන්ග්‍රස් පක්ෂයේ නායකයා ලෙස කටයතු කරන්නේ සෝනියා හා රජිව් ගාන්ධි දෙපළගේ පුත්‍රයා වන රාහුල් ගාන්ධිය. 

නේරු පවුලේ හතරවන පරම්පරාව නියෝජනය කරන රාහුල් ගාන්ධි 2004 වසරේදී  ඉන්දියානු ලෝක් සභාවට තේරී පත්විය. රාහුල් ගාන්ධිගේ නායකත්වයෙන් කොන්ග්‍රස් පක්ෂය 2014 වසරේ දී ඉන්දියානු මහා මැතිවරණයට තරග කළ  නමුත්, එහි දී ඔවුන්ට දරුණු පරාජයක් හිමිවිය. 2014 දී එවකට ජනකාන්ත අමුතු චරිතයක් ලෙස  ඉදිරියට ආ  නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුතු භාරතීය ජනතා පක්ෂය ආසන 543න් 282ක් හිමිකර ගන්නට සමත්ව තිබුණි. ඒ අනුව නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුක්ත භාරතීය ජනතා පක්ෂය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය. 2014 දී විශේෂයෙන් අගමැති නරේන්ද්‍ර මෝදි ආර්ථික සංවර්ධනයට මුල් තැනක් දී තිබූණි. ලෝක බැංකු තොරතුරු අනුව 2011 දී 21.6%ක්ව පැවති ඉන්දියාවේ දරිද්‍රතාව 2015 වනවිට 13.4%ක් දක්වා අඩු වී ඇත. ඒ අනුව මෑත කාලයේදී ඉන්දියාවේ ආර්ථික වර්ධනය 7% හෝ ඊට ආසන්න මට්ටමේ පවත්වා ගෙන යෑමට සමත්වීම ඔහුට පක්ෂව ඇති ධනාත්මක ප්‍රවණතාවකි.  මෙවරද කෘෂිකර්මය, දරිද්‍රතාව, විරුකියාව යන කාරණා සම්බන්ධයෙන් ඔහුගේ  අවධානය යොමුව ඇත. කෙසේ වුවද සිය පාලනයේ අවසන් කාලයේ මෝදිගේ ජනප්‍රිය බව පහත වැටී තිබුණි. ඔහුගේ ප්‍රතිඵල මිශ්‍ර බව දේශපාලන විචාරකයෝ පෙන්වා දී තිබුණි. ඒ අනුව නරේන්ද්‍ර මෝදි සිය පාලන කාලය තුළ කොතෙක් දුරට ප්‍රජාතන්ත්‍රවාදය අගයමින් ජනතාවාදී ලෙස කටයුතු කර ඇත්ද යන්න මෙම මැතිවරණ ප්‍රතිඵලයෙන් තහවුරු වනු ඇත. 

මේ ජන්දයෙන් මෝදි හෝ රාහුල්  දෙදෙගෙන්  කවුරුන් බලයට පත්වුවත් ඔහු ඇමෙරිකා එක්සත් ජනපදයට වඩා සිව් ගුණයකට ආසන්න ලොව සුවිශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයේ පාලනය සහ අනාගතය භාර බලවතා බවට පත් වනු ඇත. සිය අසල්වැසි රාජ්‍යයේ එම ප්‍රතිඵලය විශේෂයෙන්ම ශ්‍රී ලංකාවටද සුවිශේෂී ලෙස බලපානු ඇත.