2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා

සුඩානයේ දූෂිත ලොක්කා මහඋළු ගෙදරට!

 2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 140

ලොව දේශපාලන කරළියේ සුවිශේෂී සිද්ධි සමුදායක් පසුගිය සතියේ වාර්තා විය. එයින් කැපී පෙනෙන සිද්ධියක් වූයේ තිස් වසරකට පසු ප්‍රථම වතාවට සුඩානයේ හැත්තෑ පස් හැවිදිරි ජනාධිපති ඔමාර් අල්-බෂීර් බලයෙන් පහකර අත්අඩංගුවට ගැනීමය. රටවැසියන් අතර අපකීර්තියට පත්වූ සුඩාන ජනපතිවරයා ඉකුත් බ්‍රහස්පතින්දා (අප්‍රේල් 11) සිදු වූ හමුදා කුමන්ත්‍රණයකින් එලෙස නෙරපා හැරියත් ඔහුගේ හිතවාදීන් තවදුරටත් බලයේ රැඳී සිටීමට උත්සාහ දරමින් සිටින බව වාර්තා වේ. 

1989 සිට බලයේ සිටි ඕමාර් අල් බෂීර්ට එරෙහිව මාස කිහිපයක් පුරා උද්ඝෝෂණ පැවැත්විණි. ඒවා ඇරඹුණේ පසුගිය දෙසැම්බර් මස ඉන්ධන සහ පාන් මිල වැඩිකරන බවට රජය නිවේදනය කිරීමත් සමඟය.

නෙරපා හැරුණු ජනපති ඕමාර් අල්-බෂීර් 1973 ආරාබි - ඊශ්‍රායල යුද්ධයේදී ඊජිප්තුව වෙනුවෙන් සටන් වැදුණු නිලධරයෙකි. ඔහු ඉස්ලාම් ජාතිකයන්ගේ සහයෙන් 1989දී හමුදා කුමන්ත්‍රණයකින් පසු සුඩානයේ බලය අල්ලා ගනු ලැබීය. 1990 දී අල්-ඛයිදා නායක ඔසාමා බින් ලාඩන්ට සුඩානය තුළ රැකවරණය සැලසීම ඔහුට එරෙහිව ඇති ප්‍රධානම ජාත්‍යන්තර අපරාධ චෝදනාවයි. එසේම 2003 සහ 2008 අතර කාලයේදී සිදුවූ සුඩාන ඩාෆුර් සංහාර සම්බන්ධයෙන් 2009 දී ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් වරෙන්තු දෙකක් නිකුත් කර තිබේ. කෙසේ වුවද ඕමාර් අල් බෂීර් කිසිදු ජාත්‍යන්තර අපරාධ අධිකරණයට හෝ කිසිදු රටකට බාර නොදෙන බව රටේ හමුදා පාලකයෝ  පවසා තිබේ.

මේ වනවිට සුඩානයේ පාලකයා ආරක්ෂක අමාත්‍ය අවාඩ් ඉබ්න් ඔවුෆ් ප්‍රමුඛ මිලිටරි කවුන්සිලයකි. ඕමාර් අල් බෂීර් සේම අවාඩ් ඉබ්න් ඔවුෆ් ද හමුදා නිලධාරියෙකි. ඔහු කලක් එරට හමුදා බුද්ධි අංශයේ ප්‍රධානියා ලෙසද කටයුතු කර තිබිණි. පසුගිය පෙබරවාරි මස 22 වෙනිදා ඕමාර් අල් බෂීර් සුඩානය තුළ හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමෙන් පසු අවාඩ් ඉබ්න් ඔවුෆ් සිය  ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත්කර තිබේ. එමෙන්ම, ඔහුට උප ජනාධිපතිවරයා ලෙස උසස් වීමක් ලැබුණු අතර, ඕමාර් අල් බෂීර්ගේ පාලන කාලය 2020 දී නිල වශයෙන් අවසන් වූ පසු එම පදවියට පත්වීමටද ඉඩකඩ පෑදී තිබු‍ණේ  ඔහුටය. හමුදා කුමන්ත්‍රණයකින් ඔහු බලය අල්ලන්නේ ඒ අතරය.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00