2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා

සියදිවි හානිකරගත් පේරු රටේ කෙනඩි

 2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 166

පේරු හිටපු ජනාධිපති ඇලන් ගාර්සියා සිය නිවසේදී ගිනි අවියකින් වෙඩි තබාගෙන සියදිවි හානිකරගත් සිද්ධියද ජාත්‍යන්තරය කැළඹූ සිද්ධියකි. පේරු රටේ කෙනඩි නැතිනම් ‘ලතින් අමරිකාවේ කෙනඩි' ලෙස ප්‍රසිද්ධව සිටි ඔහු පේරු රාජ්‍යයේ ජනාධිපති ලෙස 1985 සිට 1990 දක්වා සහ 2006 සිට 2011 දක්වා දෙවරක් ජනපති පදවිය දරා තිබේ.

බ්‍රසීල ඉදිකිරීම් සමාගමකින් අල්ලස් ගෙන ඇති බවට හිටපු ජනපතිට චෝදනා එල්ල වූ අතර ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කළේය. පොලිස් කණ්ඩායමක් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ගොස් ඇත්තේ එම චෝදනා මතයි. පොලිසිය පැමිණි අවස්ථාවේ දුරකතන ඇමතුමක් ලබාගැනීමට ඇති බව පවසමින් හිටපු ජනාධිපතිවරයා කාමරයක් වෙත ගොස් එහි දොර වසාගත් බව එරට අභ්‍යන්තර කටයුතු භාර ඇමැතිවරයා කියා සිටියේය. ඉන් මිනිත්තු කිහිපයකට පසුව වෙඩිහඬ ඇසී ඇත. ඔහුගේ සියදිවි නසා ගැනීමත් සමඟ ඔහුගේ අධාරකරුවෝ රෝහල ඉදිරියේ සහ පේරු හී අගනුවර වන ලීමාහී පොලීසිය අවට රැස්වී සිටිති.

1949 වසරේ මැයි මස 23 වැනි දින උපත ලබා ඇති ඇලන් ගාර්ෂියා සමාජ විද්‍යාව සහ නීතිය හැදෑරූ අයෙකි. මෙතෙක් ඉතිහාසයේ පේරුහි ජනපති ධූරය දිනූ ළාබාලතම ජනපතිවරයා ඔහු විය. ඒ වයස අවුරුදු 36 දීය. චතුර කථිකයෙකු වූ නිසාම ලතින් අමරිකානු කෙනඩි යන නම ඔහුට පටබැඳී තිබිණි.