2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා

කළු කුහරයක මුල්ම සේයාරුව

 2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 75

විද්‍යාඥයන් විසින්, “රාක්ෂයෙකු” ලෙසද හඳුන්වන මන්දාකිණියක පිහිටි කළු කුහරයක ඡායාරූපයක් පළමුවරට කැමරාවක සටහන් කර ගැනීමට තාරකා විද්‍යාඥයෝ ඉකුත්දා  සමත් වූහ. එහි විෂ්කම්භය කිලෝමීටර් බිලියන 40ක් පමණ වන අතර, පෘථිවිය මෙන් මිලියන තුන් ගුණයක විශාලත්වයෙන් යුක්තය. කිලෝමීටර් ට්‍රිලියන මිලියන 500ක් තරම් දුරින් පිහිටි එම කළු කුහරය ඡායාරූපයට හසු කරගෙන ඇත්තේ, ලෝකයේ ස්ථාන කිහිපයක රැඳවූ දුරේක්ෂ 8ක කැමරා ජාලයක් ආධාරයෙනි. එම් 87 නමැති මන්දාකිණියෙන් එම කළු කුහරය සොයාගන්නට යෙදුනි.

මේ කළු කුහරය අපේ මුළු සෞරග්‍රහ මණ්ඩලයටත් වඩා විශාල අතර එය සූර්යයාගේ ස්කන්ධයට වඩා බිලියන 6.5 ගුණයකින් වැඩිය. එය විශ්වයේ පවතින බව විශ්වාස කරන විශාලතම කළු කුහර අතරින් එකකි. ඡායාරූපයෙන් පෙනී යන්නේ අතිශය දීප්තිමත් “අග්නි වළල්ලක්”, ලෙසටය. කළු කුහරයක් යනු අධික ගුරුත්වාකර්ෂණ බලයකින් යුක්ත වූ හිස් නොවූ අවකාශයකි. කළු කුහරයට ඔබ්බෙන් පිහිටි අවකාශය “යළි පැමිණිය නොහැකි” අවකාශයක් ලෙස සැලකේ. කළු කුහරයේ පවතින අධික ගුරුත්ව බලය නිසා ඉන් කිසිවකට ගැලවීමක් නොමැත. ඒ නිසාම කළු කුහරයක් යනු ආලෝකයට පවා ගැලවී යා නොහැකි අවකාශයකි.

මෙම ඡායාරූපය ලබාගැනීම සඳහා දුරේක්ෂ ජාලය ඉදිකළ කණ්ඩායමේ සාමාජිකයෙකු වූ යුනිවර්සිටි කොලේජ් ලන්ඩන්හි ආචාර්ය සිරි යවුන්සි පැවසුවේ, න්‍යායාත්මක භෞතික විද්‍යාඥයින් සහ හොලිවුඩ් සිනමා අධ්‍යක්ෂවරුන් කළු කුහර සම්බන්ධයෙන් නිර්මාණය කළ චිත්ත රූප මෙම ඡායාරූපය සමග සැසඳෙන බවය.

කළු කුහරය ඡායාරූපයට නැගීමට හැකි ප්‍රබල තනි දුරේක්ෂයක් ලෝකයේ නොමැත. එහෙයින් ප්‍රබල දුරේක්ෂ 8ක් එක්කර තැනූ දුරේක්ෂ ජාලයක් මේ සඳහා යොදා ගැනිණි. එම දුරේක්ෂ විවිධ ස්ථාන 8ක ස්ථානගත කර තිබිණි. හවායි සහ මෙක්සිකෝහි ගිනි කඳු, ඇරිසෝනා සහ සියෙරා නවාඩාහි කඳු, චිලීහි ඇටකාමා කාන්තාරය මෙන්ම ඇන්ටාක්ටිකාවද එම දුරේක්ෂ ස්ථානගත කළ ස්ථාන අතර විය. එම් 87 මන්දාකිණිය දෙසට යොමුකර තිබූ දුරේක්ෂ ජාලය විද්‍යාඥයින් 200 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් දින 10ක් පුරා ක්‍රියාත්මක කරනු ලැබීය. දැන් මෙම කළු කුහරය ඡායාරූපගත කළ කණ්ඩායම පෘථිවිය අයත් මන්දාකිණිය වන ක්ෂීරපථයේ පිහිටි අතිවිශාල කළු කුහරයද ඡායාරූපයට නැගීමේ උත්සහයක නිරතව සිටිති.