2019 අප්‍රේල් 13 වන සෙනසුරාදා

මැදපෙරදිග දෙබරයට ට්‍රම්ප් ගල් ගසයි!

 2019 අප්‍රේල් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 176

මැදපෙරදිග දෙබරයට නැවත ගල්ගසා නොනවතින දබරයකට මුලපිරීමට හේතුවන හිතුවක්කාර පියවරක් පසුගිය සතියේ අමෙරිකාව තැබුවේය. වසර 30කට පසු සෞදි – ඉරාක මිත්‍රත්වය පසුගිය සතියේ අලුත් වූයේය. ඉරාකයේ බැග්ඩෑඩ් නුවර සෞදි කොන්සල් කාර්යාලයක් විවෘත කිරීමත් සමගිනි. වසර 30ක්  දුරස්ව තිබූ දෙරටේ මිත්‍රත්වය අලුත් කරමින් නව කොන්සල් කාර්යාලය විවෘත කරන අවස්ථාවේ සෞදිය, ඉරාකයට ඩොලර් බිලියනයක ආධාරයක්ද ලබා දී තිබේ. මේ හරහා රියාද් සහ බැග්ඩෑඩ් අතර නව යුගයක් උදාවන බවට වාගාඩම්බර දෙසීමක්ද මාධ්‍ය තුළින් ප්‍රකට විය. 

ඒ අතර අමෙරිකානු  හිතවාදී සෞදිය, ඉරාකයට යළි සමීපවීම ඉරානයට ප්‍රබල  අවාසිදායක තත්ත්වයක් උදාකරනු ඇතැයි දේශපාලන විචාරකයෝ අනාවැකි පළ කළහ. එයින් මැද පෙරදිග සාමයට ප්‍රබල පහරක් එල්ලවනු ඇතැයිද මත ඉදිරිපත් විය. දින කිහිපයක් ගතවන්නටත් පෙර එම අනාවැකි සත්‍ය වන ලකුණු පහළ වී තිබේ.

ඉරාන රජයේ විප්ලවීය හමුදාව විදේශික ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගැනීමත් සමඟය. අමෙරිකාව වෙනත් රටක හමුදාවක් ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කළ ප්‍රථම අවස්ථාව මෙයයි. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් ගත් මෙම පියවරෙන් ඉරානය, ත්‍රස්තවාදයට සහය ලබාදෙන රාජ්‍යයක් පමණක් නොව, ක්‍රියාකාරීව ත්‍රස්ත ක්‍රියාවල නිරතවන රාජ්‍යයක් බවටද හෙළිකෙරෙන බව ජනාධිපති ට්‍රම්ප් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

මීට ප්‍රතිචාර ලෙස මැදපෙරදිග ස්ථානගත කර සිටින අමෙරිකානු සෙබළ කණ්ඩායම් ත්‍රස්ත සංවිධානයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට ඉරානය වහාම  පියවර ගත්තේය. ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් අමෙරිකාව ඉවත් කර ගැනීමට ජනපති ට්‍රම්ප් පියවර ගැනීමෙන් පසු දෙරට අතර පැවති අර්බුදකාරී තත්ත්වය තවදුරටත් උග්‍ර විය.

ඉරාන විප්ලවීය හමුදාව ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කිරීමෙන් ඉරානයට එරෙහිව නව සම්බාධක පැනවීමට අමෙරිකාවට හැකියාව ලැබෙන්නේය. මෙම සම්බාධක ඉරානයේ ව්‍යාපාරික ක්ෂේත්‍රය සහ ආර්ථිකය මුල්කර ගනිමින් පැනවෙන්නට බොහෝදුරට ඉඩ තිබේ. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තාවන්ට අනුව ඉරානයට එරෙහි මෙම නව සම්බාධක සතියක් තුළ ක්‍රියාවට නැංවීමට නියමිතය. ඒ අනුව මැද පෙරදිග අර්බුදය තවත් අවුල්ජාලයක් බවට පත්වනු ඇත. අමෙරිකා හිතවාදී සෞදියේ ආධාර ලබන ඉරාකය සිය අසල්වැසි පාරම්පරික එදිරිවාදියාට එරෙහිව දැඩි පියවර ගන්නට පෙළැඹීමෙන් මැදපෙරදිග ඇවිල යා හැකි යුදගින්න ලෝකයටම දැඩි බලපෑමක් එල්ල කරනු ඇත.

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ සහ එරට ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් ජනපති ට්‍රම්ප්ගේ මෙම ක්‍රියාව අගය කර ඇත. නමුත් ඊට සියලු අමෙරිකානු නිලධාරීන්ගේ අනුමැතිය නම් හිමිව නොමැත.  

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00