2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා

විකල් කාලගුණයෙන් අකල් මරණ රැසක්!

 2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 114

මේ දිනවල අපේ රටේද පැතිර ඇත්තේ දැඩි අව් රශ්මියකි. අපේ පමණක් නොව මේ වන විට ලෝකය පුරාම කාලගුණ රටාව විකල් වී හමාරය. අකල් වැහි, මහා ගංවතුර, විකල් භූමිකම්පා, නොකල් සුළි කුණාටු ලොව නන් දෙසින් පසුගිය සතිය පුරා වාර්තා විය. එයින් වැඩිම හානිය වූයේ ඇෆ්ඝන් ගං වතුරෙනි. 

ඇෆ්ගනිස්ථාන  ගංවතුර :

ඇෆ්ගනිස්ථානයේ ප්‍රාන්ත 21 කට සති දෙකක කාලයක සිට පවතින ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 80 දෙනකු මියගොස් තවත් 200කට අධික පිරිසක් තුවාල ලබා ඇත. මේ හේතුවෙන් තවත් 42,000 කට අධික පිරිසක් අවතැන්ව සිටින බව වාර්තා වෙයි.

ඉරානයේ  මහවැසි:

මේ අතර පසුගිය දශකය තුළදී ඉරානයෙන් වාර්තා වූ වැඩිම වර්ෂාපතනය පසුගිය සතියේ ඇද වැටිණි. මේ සමඟින් හටගත් මහා ගංවතුරකින් ඉරානයේ ප්‍රදේශ රැසක නිවාස, රථවාහන ඇතුළු දේපළ රැසකටම අලාභහානි සිදුව තිබුණි. ගංවතුර හේතුවෙන් මේ සතිය තුළදී පුද්ගලයන් 45 දෙනකු පමණ මියගොස් ඇතැයි ද එරට වාර්තාවල සඳහන් වෙයි. ඉරානයේ උතුරු සහ දකුණු කලාපවලට පසුගිය සතියේ බලපෑ ධාරාණිපාත වර්ෂාවෙන් පසු මෙම  ප්‍රබල ගංවතුර  හටගෙන තිබේ. මේ හේතුවෙන් මහාමාර්ග රැසක් ද විනාශ වී ඇති නිසා ප්‍රවාහන සේවාවන් ද ඇණහිට ඇති බව වාර්තා වෙයි.

පේරු ගංවතුර:

පේරු රාජ්‍යයේ හුනින්හි ග්‍රාමීය ප්‍රදේශ රැසක් මේ වන විටත් ගංවතුරට හසුව ඇත. දරුණු ගංවතුර තත්ත්වය සහ අයහපත් කාලගුණය හේතුවෙන් එරටින් පුද්ගල මරණ 51ක් ද වාර්තා වී තිබුණි. ගංවතුර හේතුවෙන් අවතැන් වී සිටින පිරිස දහතුන්දහසකට අධිකය. නිවාස 22ක් පමණ මුළුමණින් විනාශ වී ඇති බවට තොරතුරු වාර්තාවන අතර තවත් දේපළ රැසකට ද හානි සිදුව ඇත. මේ අතර ගංඟාවක ඉවුරු පුපුරායාමෙන් නිවාස ඇතුළු දේපළ රැසක් ගසාගෙන යන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් ද ජාලය කැළඹුවේය.

නේපාලයේ අකුණු කුණාටු:

දකුණු නේපාලයේ දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රචණ්ඩකාරී අකුණු සහිත කාලගුණික තත්ත්වයක් පැතිරගොස් තිබේ. ඒ හේතුවෙන් නිවාස රැසක් විනාශ වී ඇති අතර වාහන පෙරලීම් සහ ගස් කඩාවැටීම් ද සිදුව ඇති බව සඳහන්ය. අකුණුවලින් ප්‍රදේශයේ විදුලි සහ සන්නිවේදන පද්ධතිවලටත් දැඩි ලෙස අලාභහානි සිදුව තිබුණි. අකුණු පවතින අවස්ථාවේ ධාවනය වෙමින් තිබූ බස් රථයක් පෙරලීමෙන් ජීවිත හානි රැසක් සිදුවූ බවද වාර්තා වෙයි. අකුණු සහිත කුණාටුව මේ වන විට පුද්ගලයන් 30 දෙනකු බිලිගෙන හමාරය. ඉන් තවත් සියගණනක පිරිසක් තුවාල ලබා ඇති බව ද විදෙස් වාර්තාවල සඳහන්ය.  

පැය 2යි: භූකම්පන 9යි:

අන්දමන් සහ නිකෝබා දුපත් ආශ්‍රිතව පැය 2ක කාලයක් තුළදී භූකම්පන 09ක් හටගෙන ඇති බව වාර්තා වූයේ මෝගේ දිනයේදීය. මෙම භූකම්පන රිච්ටර් මාපකයේ ඒකකයේ 4.7ත් 5.2ත් අතර ප්‍රභලත්වයකින් යුතු ඒවා බව වාර්තා ගතය. මෙහි පළමු භුකම්පනය 01දා අලුයම 05.14ට පමණ සිදුව ඇති අතර එය රිච්ටර් මාපකයේ 4.9 ක් ලෙස සටහන්ව ඇත. ඊට සුළු වේලාකට පසුව රච්ටර් මාපකයේ ඒකක 5.0 ක භූකම්පන 2ක් සිදුව තිබේ. ඉන් පසු නොකඩවා වරින්වර භූ කම්පන 9ක් සිදුව ඇත. මෙහි අවසන් භුකම්පනය උදෑසන 06.54 ට සිදුව ඇති අතර එය රිච්ටර් මාපකයේ 5.2ක අගයකින් යුක්ත බව වාර්තා වෙයි.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00