2019 මාර්තු 23 වන සෙනසුරාදා

“ට්‍රම්ප් - තාප්පය” බඳින්න නිෂේධ බලයත් යොදයි!

 2019 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 169

හිතුවක්කාර තනි තීන්දු ගන්නෙකු ලෙස ප්‍රසිද්ධ ට්‍රම්ප් තමන්ගේ ඒ මුරණ්ඩු ඒකාධිපති ගති ලක්ෂණ පසුගිය සතියේ නැවත වතාවක් ලෝකය ඉදිරියේ ප්‍රදර්ශනය කළේය. තමන්ගේ ඡන්ද පම්පෝරියක් සෙසු ලෝකය ඉදිරියේ පච වී යාම වැළැක්වීම සඳහා අමෙරිකානු ජනාධිපතිවරයකු සතු ඒකාධිපති නීතිමය බලයක් අන්තනෝමතික ලෙස යොදා ගැනීම මගිනි. කොංග්‍රස් මණ්ඩලයෙන් සිය යෝජනා අනුමත නොවන අවස්ථාවක ජනාධිපතිවරයකුට නිෂේධ බලය VETO භාවිතා කර සිය හිතුමතය බලාත්මක කිරීමේ නීති ප්‍රතිපාදන හිමිව තිබේ. ට්‍රම්ප් ප්‍රථම වතාවට මේ බලය පසුගියදා භාවිතයට ගත්තේ මෙක්සිකෝව ඇමරිකාවෙන් ඈත්කර තබන සංක්‍රමණික විරෝධී “ට්‍රම්ප් තාප්පය” සඳහා මුදල් වෙන්කර ගන්නටය.

ඇමෙරිකන් ඉතිහාසය තුළ ජනපතිවරුන් නිෂේධ බලය භාවිතා කළ වාර ගණන 2572ක් දැකිය හැකි අතර එසේ භාවිතා කළ නිෂේධ බලය සෙනෙට් මණ්ඩලය 2/3 ජන්දයෙන් අහෝසි වී ඇති වාර ගණන 111 කි. මෙවර ඇමෙරිකන් ජනපති ට්‍රම්ප් පළමුවරට භාවිතා කළ නිෂේධ බලය අහෝසි කිරීමට නම් සෙනට් මණ්ඩලයේ ඡන්ද 2/3 ක් හෙවත් 67ක් අවශ්‍ය වේ. එසේ ඡන්ද 67ක් ලබාගැනීම අපහසුවීම මත ඇමරිකන් ජනපති ට්‍රම්ප්ගේ නිෂේධ බලය භාවිතා කිරීම මෙවර බොහෝදුරට නිත්‍යානුකුල වනු ඇත. 

ඇමරිකාවේ කොංග්‍රස් මණ්ඩලය ජනපති ට්‍රම්ප් විසින් මුරණ්ඩු ලෙස ඉදිරිපත් කළ ඇමරිකන් - මෙක්සිකෝ දේශසීමා තාප්පය ඉදි කිරීමට අවශ්‍ය ඇමරිකන් ඩොලර් බිලියන 5.7ක මුදල අනුමත කිරීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කළහ. මේ හේතුවෙන් පෙබරවාරි මසදී ජනපති ට්‍රම්ප් තම බලතල ප්‍රකාරව රටේ හදිසි අවස්ථාවක් ප්‍රකාශ කරන නියෝගයක් පනවා එම නියෝගය මත පදනම්ව ඇමරිකන් - මෙක්සිකෝ දේශසීමාව ඉදි කිරීමට අවශ්‍ය ඇමරිකන් ඩොලර් බිලියන 5.7 ක මුදල තමන් විසින්ම වෙන්කර ගනු ලැබිණි. එසේ ජනපති ට්‍රම්ප් මුදල් වෙන්කර ගත් පසු නැවතත් ඩිමොක්‍රටික් සභිකයෝ, ජනපති ට්‍රම්ප් වෙන් කරගත් මුදල් අත්හිටුවන යෝජනාවක් සෙනෙට් මණ්ඩලයට ඉදිරිපත් කළහ. 

වර්තමානයේ සෙනට් මණ්ඩලයේ සංයුතිය විපක්ෂ ඩිමොක්‍රටික් සභිකයින් 47 හා ජනපති ට්‍රම්ප්ගේ පක්ෂය වන රිපබ්ලිකන් පක්ෂයෙන් 53 කි. මෙහිදී සිදු වූ, විශේෂ සිදුවීමක් වූයේ ජනපති ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයේ සභිකයින් 12 දෙනෙක්ද ජනපති ට්‍රම්ප්ට විරුද්ධ වෙමින් ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂයේ යෝජනාවට සහය දැක්වීමයි. ඒ අනුව ජනපති ට්‍රම්ප් බලය යොදා වෙන් කරගත් මුදල් අත්හිටුවීමේ යෝජනාව ඡන්ද 59-41 ලෙස සාමාන්‍ය වැඩි ඡන්දයෙන් අනුමත විය.

එසේ තම යෝජනාව සෙනට් මණ්ඩලය තුළ වැඩි ඡන්දයෙන් අත්හිටුවීම ගැන කුපිත වූ ට්‍රම්ප් තම ධුරයේ පළමුවරට තමන්ට හිමි නිෂේධ බලය භාවිත කරමින් සෙනට් මණ්ඩලය සම්මත කරගත් යෝජනාව අත්හිටුවීමේ නිවේදනයක් නිකුත් කරන ලදී. ඇමරිකාවේ ජනපතිවරුන් නිෂේධ බලය තම ධුරයන්හිදී භාවිතා කිරීම  දුලබ  කාරණයක් නොවේ. මෑතකාලීනව හිටපු ජනපතිවරුන් කිහිප දෙනෙකුම තම ධුර කාල සීමාවේදී  නිෂේධ බලය භාවිතා කර තිබේ. ඒ අනුව හිටපු ජනපති බැරක් ඔබාමා සිය නිල කාලයේදී නිෂේධ බලය භාවිතා කළ වාර ගණන 12 කි. (2009 සිට 2017 දක්වා) හිටපු ජනපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් නිෂේධ බලය භාවිතා කළ වාර ගණන 12 කි. (2001 සිට 2009 දක්වා). හිටපු ජනපති බිල් ක්ලින්ටන් නිෂේධ බලය භාවිතා කළ වාර ගණන 37 කි. (1993 සිට 2001 දක්වා) හිටපු ජනපති ජෝර්ජ් එච්.ඩබ්ලිව්. බුෂ් නිෂේධ බලය භාවිතා කළ වාර ගණන 44කි. (1989 සිට 1993 දක්වා) හිටපු ජනපති රොනල්ඩ් රේගන්  නිෂේධ බලය භාවිතා කළ වාර ගණන 78 කි. (1981 සිට 1989 දක්වා).

මෙසේ ජනපතිවරුන් නිෂේධ බලය භාවිතා කළත් සෙනෙට් මණ්ඩලයේ 2/3 යෝජනාවක් සම්මත වුවහොත් එම නිෂේධ බලය අහෝසි කළ හැකිය. ඒ අනුව මාර්තු 26 දින සෙනට් මණ්ඩලය ට්‍රම්ප්ගේ මේ හදිසි  නිෂේධ බලය භාවිතාව සම්බන්ධව රැස්වී තීරණය කිරීමට නියමිතය. එහිදී නැවත වතාවක් සිය ඒකාධිපති අන්තනෝමතික තීන්දුව හකුලා ගන්නට සමහර විට ට්‍රම්ප්ට සිදුවිය හැකිය. 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00