2019 මාර්තු 23 වන සෙනසුරාදා

සුළි සුළඟින් අප්‍රිකාව සුන්!

 2019 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 109

අප්‍රිකාවේ දකුණු දිග කලාපයේ මලාවි, සිම්බාබ්වේ සහ මොසැම්බික් යන රටවලට බලපෑ අයිඩායි සුළි කුණාටුවෙන් සිදුවූ මරණ ප්‍රමාණය 600කට ආසන්නය. පසුගිය බ්‍රහස්පතින්දා මලාවි රටේ බෙයිරා නගරය හරහා ප්‍රබල අයිඩායි සුළි කුණාටුව හමාගියේ පැයට කිලෝමීටර් 177ක වේගයකිනි. බෙයිරා නගරය ව්‍යසනයට ලක්කර එය සිම්බාබ්වේ සහ මලාවි රාජ්‍යයන් කරා හමා ගියේය.

සුළි කුණාටුවෙන් වැඩිම හානිය සිදුව ඇත්තේ මොසැම්බික් රාජ්‍යයටය. ඉන් එරට අගනුවරද ඇතුළුව නගර රැසකට දැඩි හානි සිදුව ඇති අතර වෙරළාසන්න බෙයිරා නගරය සම්පූර්ණ වශයෙන්ම පාහේ විනාශයට පත්ව ඇත. මොසැම්බික් ජනාධිපති ෆෙලිපේ යූසි පවසා ඇත්තේ, පුද්ගලයින් 100,000කට අධික පිරිසක් අවදානමට ලක්ව සිටින බවය. සිම්බාබ්වේ රජය පැවසුවේ, සිය රටේ පුද්ගලයින් 98 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර තවත් 217 දෙනෙකු අතුරුදන්ව ඇති බවය. මලාවි රාජ්‍යය තුළ පුද්ගලයින් 80,000කට අධික පිරිසක් අවතැන් වී සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

මේ අතර සුළං සහ ගංවතුර හේතුවෙන් විපතට පත් මොසැම්බික් වැසියන් වෙනුවෙන් ආහාර ලබාදීමේ වැඩපිළිවෙළක් එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහන යටතේ ආරම්භ වී ඇත. ඒ සඳහා ගුවන්යානා සහ හෙලිකොප්ටර් යානා ලබාදීමටද එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහන කටයුතු කර ඇත.

වැසි තත්ත්වය පහව ගියද ජල ගැලීම් හේතුවෙන් විශාල පිරිසක් පාලම්, නිවාසවල වහළ මත වැනි උස් ස්ථානවල රැඳී සිටින අතර ඔවුන්ට පානීය ජලය සහ ආහාර නොලැබෙන බව වාර්තා වෙයි. විපතට පත්වූවන්ගෙන් විශාල පිරිසක් කුඩා ළමුන්ය.  බෙයිරා නගරයේ සහන සේවාවල නිරත කණ්ඩායම් පවසන්නේ, තමන් සතු පිරිසුදු ජලය දින දෙක තුනකට පමණක් ප්‍රමාණවත් වනු ඇති බවය. ආහාර සහ පානීය පිරිසුදු ජලය හිඟකම නිසා ලෙඩ රෝග පැතිර යාමේ වර්ධනයක් සිදු විය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ.