2019 මාර්තු 23 වන සෙනසුරාදා

ලෝක ප්‍රසංශාව උදුරාගත් නවසීලන්ත අගමැතිනිය

 2019 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 235

පසුගිය සතියේ ලෝකයේ අවධානය වැඩියෙන්ම දිනාගත් තැනැත්තිය වූයේ නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෙසින්ඩා අර්ඩන්ය. ඇගේ ආදර්ශවත් නිහතමානී මානවීය ගුණය නිසාය. ඊට කලින් ඉන්දු පාකිස්තාන් කාශ්මීර අර්බුදය හමුවේ ඉම්රාන් ඛාන් ක්‍රියා කළ ආකාරය ලෝකයේ ප්‍රශංසාවට ලක්වූයේ යම් සේද, ජාතිවාදී උන්මත්තකයෙකුගේ ක්‍රයිස්ට් චර්ච් ප්‍රහාරයෙන් දිවි බේරාගත් මුස්ලිම් ප්‍රජාව හමුවීමට නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩෙන් කළු පැහැති හිජාබයක් හිස පළඳාගෙන ගිය ආකාරයද එලෙසම දැඩි ප්‍රශංසාත්මක කතාබහකට හේතු විය. 

නවසීලන්තය තුළ සියලුම වර්ගයේ අර්ධ ස්වයංක්‍රීය ගිනි අවි භාවිතය තහනම් කරන බව අග්‍රාමාත්‍ය ජෙසින්ඩා අර්ඩන් ප්‍රකාශ කළාය. පසුගිය 15 වනදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය නවසීලන්ත ඉතිහාසය මුළුමනින්ම වෙනස් කළ බව නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය පවසා සිටියාය. මේ හේතුවෙන් තම රටේ පවතින නීතිද සංශෝධනය කිරිමේ අවශ්‍යතාව මේ වනවිට පැන නැගී ඇති බව ඇය පෙන්වා දී ඇත. 

ඒ අනුව ගිනි අවි පිළිබඳ නීති සංශෝධනයට අදාළ යෝජනාව අප්‍රේල් මස පළමු සතියේ එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ජාතිවාදී දක්ෂිණාංශික මතවාදය මුලිනුපුටා දැමීම සඳහා ගෝලීය සටනක අවශ්‍යතාව නවසීලන්තයේ අගමැතිනිය ජසින්ඩා ආඩන් අවධාරණය කරයි. නව නීති සංශෝධනය අප්‍රේල් මස 11 වන දින සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කර ඇත. නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච්හි සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයට සැකකරු භාවිත කළ වර්ගයේ ගිනිඅවි මෙම තහනමට ඇතුළත් වෙයි.

වයස අවුරුදු 37 දී ජසින්තා ආර්ඩෙන් ලොව ළාබාලතම රාජ්‍ය නායිකාව බවට පත්වූවාය. පසුගිය වසරේදී විවාහ නොවී දරුවෙකු බිහි කළාය. ඒ දරුවාද රැගෙන පාර්ලිමේන්තුවටද  ගියාය. පසුගියදා  මුස්ලිම් ඇඳුමක් ඇඳගෙන මුස්ලිම් මළගෙවල්වල ගියාය. ඇය මේ  පෙන්වා දෙන්නේ තමන්ට විසල් හදවතක් පුළුල් දැක්මක් ඇති බවය. ඝාතනය සැළවී විනාඩි ගණනක් ඇතුළත නවසීලන්තයේ ගිනිඅවි භාවිතය සීමාකරමින් නව නීති පැනවූවාය. ඒ උදේ 9 ටය. දහවල් 1ට ඇය කළු පැහැ ඇඳුමකින් සැරසී කළු පැහැති හිජාබයක් ද පැළඳ ක්‍රයිස්ට්චර්ච් බලා ගියාය. 

“මුළු මහත් නවසීලන්තයම මේ විපතේදී එක්සත්ව කණගාටු වන බව” පැවසුවාය. “මේ අප දන්නා නවසීලන්තය නොවෙයි. හැම කෙනෙක්ම ආරක්ෂිතව සිටීම අවශ්‍යයි... They are us, විපතට පත් ප්‍රජාවගෙන් අති බහුතරය සංක්‍රමණික ප්‍රජාවයි. ඔවුන්ගේ නිවහන මේ නවසීලන්තයයි!” මේ ඇය ලෝක පිළිගැනීමට ලක්කළ මසුරං අදහස්ය.

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00